July 6, 2026

මීගමුව බන්ධනාගාරය තුළ අද(6) උදෑසන ආහාරය බෙදාහරින අවස්ථාවේදී රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර යළිත් වරක් දරුණු ගැටුමක් හටගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ දිනයේදී ඇති වූ මුල් ගැටුම පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව සිටියද, අද උදෑසන ආහාර බෙදාදීම සඳහා නිලධාරීන් ඇතුළු වූ අවස්ථාවේදී මෙම ගැටුම යළිත් ඇවිලී තිබේ.

එහිදී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරීන්ට ද රැඳවියන් විසින් පහර දී ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායකට අනුව, පහරදීමෙන් පසු රැඳවියන් විසින් නිලධාරීන්ව බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව දෙසට ලුහුබැඳ ගොස් ඇති අතර, එහිදී දොරටුව කඩාගෙන යාමට ද උත්සාහ කර තිබේ.

ප්‍රධාන දොරටුවේ සිටි නිලධාරීන් එය වැළැක්වීමට උත්සාහ කළද, විශාල රැඳවියන් පිරිසක් ඔවුන්ට ද දිගින් දිගටම ප්‍රහාර එල්ල කර ඇත.

අනතුරුව අතිරේක බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කිරීම සඳහා අවම බලය භාවිත කර තිබේ.

මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, මේ වන විට සමස්ත මියගිය සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇති බව තහවුරු වී තිබේ.

සිදුවූ හානිය සහ අනතුරු පිළිබඳව බලධාරීහු තවදුරටත් පුළුල් ලෙස සොයාබලමින් සිටිති.