July 6, 2026

2015 වසරේ සිදුවූ පැහැරගැනීමේ සිද්ධියකට අදාළව තමන්ට පනවා ඇති වරදකරු කිරීමේ තීන්දුව සහ වසර තුනක සිරදඬුවම අභියෝගයට ලක්කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් දින නියම කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චිගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී, අදාළ අභියාචනය පිළිබඳ විභාගය අගෝස්තු 6 වැනිදා පැවැත්වීමට නියෝග කෙරිණි.

2015 දෙසැම්බර් 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේදී කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් තමන්ව පැහැරගෙන ගොස් පහරදුන් බවට අමිල ප්‍රියංකර නැමැති පැමිණිලිකරු චෝදනා කර තිබිණි.

අනතුරුව දෙමටගොඩ ප්‍රදේශයේදී අමිල ප්‍රියංකර නැමැති පුද්ගලයා පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම, තර්ජනය කිරීම, පහරදීම සහ බියවැද්දීම ඇතුළු චෝදනා 18කට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකරු බවට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

කොළඹ මහාධිකරණය මඟින් පැනවූ මෙම වරදකරු කිරීමේ තීන්දුව සහ වසර තුනක සිරදඬුවම අභියෝගයට ලක්කරමින් ඇය විසින් මෙම අභියාචනය ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, අභියාචන තීන්දුව ප්‍රකාශයට පත්කරන තෙක් 2024 ජූලි 22 වැනිදා කොළඹ මහාධිකරණය විසින් ඇයට ඇප ලබාදීමට පියවර ගෙන තිබිණි.