July 6, 2026

පසුගිය පෙබරවාරි 13 වැනිදා අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, වෙඩික්කරුවන් පළාගිය මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 23 හැවිරිදි සැකකරු, මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමෙන් පසු, ඝාතනය පිළිබඳව විශේෂ පාපොච්චාරණයක් සිදුකර තිබේ.

ගාල්ල, බටපොළ, ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරුට එරෙහිව අන්තර්ජාතික මට්ටමින් ‘රතු නිවේදන’ නිකුත් කර තිබිණි.

ඔහු බහරේන් රාජ්‍යයේ සිට මාලදිවයිනට පැමිණ සිටියදී එරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට හසුව ඇති අතර, ඒ පිළිබඳව ලංකාවේ විමර්ශන අංශ දැනුවත් කිරීමෙන් පසු මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් මාලදිවයින බලා පිටත්ව ගොස් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව මාලේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ සැකකරු, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා සැකකරු මත දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි.

එම රැඳවුම් කාලය තුළ සිදුකළ දීර්ඝ විමර්ශනවලදී ඔහු විසින් මෙම ද්විත්ව ඝාතන කුමන්ත්‍රණය සිදුවූ ආකාරය පිළිබඳව සම්පූර්ණ පාපොච්චාරණයක් සිදුකර ඇති බව වාර්තා වේ.