July 6, 2026

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු නොසන්සුන්කාරී තත්ත්වයෙන් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලැබීමෙන් පසු, එහි ආරක්ෂාව සඳහා යුද හමුදා භට පිරිස් යොදවා තිබේ.

ඉරිදා දිනයේ බන්ධනාගාරය තුළ හටගත් මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර බලධාරීන්ට සහාය වීමට මෙලෙස ආරක්ෂක අංශ යොදවා ඇත.

මේ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන යානයක් බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වූ බව දේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම, රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන් සතු ගිනිඅවි උදුරාගෙන බන්ධනාගාරය ඇතුළත වෙඩිතැබීම් සිදුකළ බවට ද තවත් දේශීය මාධ්‍ය වාර්තා කිහිපයක වර්ථාඅ කර ඇති නමුත්, මෙම කරුණු මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.

නවතම නිල තොරතුරුවලට අනුව මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. කෙසේවෙතත් තුවාල ලැබූවන්ගේ සෞඛ්‍ය තත්ත්වය මෙතෙක් හෙළිකර නොමැත.

මෙම බන්ධනාගාර කැරැල්ලට හේතු වූ කරුණු පිළිබඳව බලධාරීන් මෙතෙක් සම්පූර්ණ වාර්තාවක් නිකුත් කර නොමැති අතර, තත්ත්වය සමනය වෙත්ම ඉදිරියේදී වැඩිදුර තොරතුරු අපේක්ෂා කෙරේ.