July 6, 2026

බේරුවල ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍ය සංගමයක් විසින් අද සංවිධානය කර තිබූ ක්‍රිකට් තරගාවලියක් අතරතුර, පිතිකරණයේ යෙදී සිටියදී ඇද වැටුණු 46 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇසින් දුටුවන් පවසන පරිදි, මෙම ක්‍රීඩකයා පිතිකරණයේ යෙදී සිටියදීම හදිසියේම පිටිය මැද ඇදවැටී ඇත.

එම අවස්ථාවේදී සජීවීව විකාශය වෙමින් තිබූ තරග දර්ශනවලට අනුව, මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දීමට පෙර ඔහු පන්දු 3කදී නොදැවී ලකුණු 6ක් ලබාගෙන සිට ඇත.

ඔහු වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගියද, ඒ වන විටත් මියගොස් සිට ඇති බව ප්‍රකාශ කර තිබේ.

මරණයට නිශ්චිත හේතුව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, එය හෘදයාබාධයක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට සැකකෙරේ.

මෙම හදිසි ඛේදවාචකය හේතුවෙන් ක්‍රීඩකයන්, නිලධාරීන් සහ ප්‍රේක්ෂකයන් දැඩි කම්පනයට පත්ව ඇති අතර, සිදුවීමෙන් පසු තරගාවලියේ ඉතිරි කොටස තාවකාලිකව අත්හිටුවීමට සංවිධායකයෝ පියවර ගත්හ.