July 5, 2026

රටේ ගම්මාන සංවර්ධනය කර ඇත්තේ සිය පක්ෂයෙන් බවත් ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂයේ සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මාතර කොටපොළ පැවති රැස්වීමක් අමතමින් ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

“අද අපි ඔබ හම්බවෙන්නෙ මේ මැතිවරණ කාලෙක නෙවෙයි. තාම මැතිවරණයක් සම්බන්ධයෙන් ආණ්ඩුවට අදහසක් නෑ.මොකද ආණ්ඩුව දන්නවා ඡන්දෙකට ගියොත්, පළාත් සභා එහෙම තිබ්බොත් රිදෙනවා. හැබැයි අද අපි ගමෙන් ගමට යනකොට අපේ හාමුදුරුවනේ, හැම ගමකම ජනතාව අපි එක්ක අත්වැල් බැඳගන්නවා. අපිට ඡන්දය දීපු, නොදීපු, පහුගිය මැතිවරණවල හිත් බිඳිලා, රිදිලා හිටපු, අපෙන් ඈත් වෙච්ච, වර්තමාන ආණ්ඩුවෙන් යම් වෙනසක් බලාපොරොත්තු වෙච්ච තරුණයෝ, වැඩිහිටියෝ, බොහෝ පිරිසක් අද අපි එක්ක එකතු වෙනවා. ඒ විශ්වාසය මත. මොකද අපි වැඩ කරපු දේශපාලන පක්ෂයක්. සහ අපි කියපු දේ කරලා තියෙනවා. කියපු දේ කරලා තියෙනවා.

​අද මේ ගම්වලට ආවහම, මේ ගමක දකින්න තියෙන සංවර්ධනය අපේ ආණ්ඩුවලින් කරපුවා. හැබැයි එදා ජේ.වී.පී. එක මොකක්ද කරේ ඒ හැම සංවර්ධනයක්ම නවත්තන්න උපරිම උත්සාහ කරා. ඒ හැම සංවර්ධනයක්ම නවත්තන්න උපරිම උත්සාහ කරා පමණක් නෙවෙයි, ඒ සංවර්ධන ව්‍යාපෘති හැම එකක්ම හොර ව්‍යාපෘති කියලා හංවඩු ගැහුවා. කොළඹ වරාය නගරය හදන්න සීගිරියත් කඩන්න ඕනේ කියලා කිව්වා.මම සතුටු වෙනවා එහෙම කියපු ජනාධිපතිවරයා අද තමන් යන හැම විදේශ සංචාරයකදීම පෝට් සිටි එක ගැන කතා කරනවා. ඒකට ආයෝජකයන්ට එන්න කියනවා, ඒක හොඳයි. මම සතුටු වෙනවා ඒක ගැන, මොකද එතුමා අද වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පිළිගන්නවා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හදපු කොළඹ වරාය නගරය තමයි මේ රටේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් වෙන්න පුළුවන් කියලා.