July 5, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රිටිගල තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානය වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් කණ්ඩායමක්, කිරිිබත්ගොඩ සහ රාගම ප්‍රදේශවල සිදුකළ වැටලීම් මාලාවකදී ආරක්ෂිත සත්ව කොටස් රැසක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී නිලධාරීන් භාරයට ගත් භාණ්ඩ අතර කිලෝග්‍රෑම් 32ක් බරැති කොරල් පර කොටසක්, ශ්‍රී ලංකාවට ආවේණික බෙල්ලෙකු , මකුළු බෙල්ලෙකු (Lambis lambis), කොටි දතක් සහ මුහුදු සත්වයෙකුගේ ශරීර කොටසක් ද වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 සහ 26 යන වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් රුපියල් 100,000 බැගින් වූ ඇප මත මුදා හැර තිබේ. ඔවුන් ඉදිරි දිනකදී මහර සහ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත ප්‍රකාරව කොරල්පර ඇතුළු ආරක්ෂිත වනජීවී කොටස් එකතු කිරීම, ළඟ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම හෝ වෙළඳාම් කිරීම සපුරා තහනම් වන අතර, ඒ සඳහා දැඩි නීතිමය දඬුවම් හිමිවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.