July 5, 2026

ලෝකප්‍රකට Game of Thrones ටෙලි කතාමාලාවේ රසිකයන්ට කිසිදා අමතක නොවන, එහි පළමු වැනි කොටසේදීම දැකගත හැකි වූ සුවිශේෂී මකර බිත්තර තුන සහ ඒවා බහා තිබූ ලී පෙට්ටිය ප්‍රථම වතාවට වෙන්දේසි කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

කතාමාලාව තුළ ඩෙනේරිස් ටාගේරියන් චරිතයට විවාහ තෑග්ගක් ලෙස ලැබෙන මෙම මුල්ම බිත්තර ත්‍රිත්වය, එළඹෙන ජූලි 15 වැනිදා Heritage Auctions ආයතනය හරහා වෙන්දේසි කිරීමට නියමිතය.

මෙම භාණ්ඩ, කතාමාලාවේ රූගත කිරීම් සඳහාම නිල වශයෙන් යොදාගත් සැබෑ ඒවා බවට නිෂ්පාදන ආයතනය වන HBO ආයතනය විසින් සහතික කර තිබීම ද විශේෂත්වයකි.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කරන පරිදි, වෙන්දේසිය ආරම්භ කිරීමටත් පෙරම මේ සඳහා ඇමරිකානු ඩොලර් 21,000ක (රුපියල් ලක්ෂ 60කට අධික) ලංසුවක් ලැබී ඇති අතර, වෙන්දේසිය නිමා වන විට එය ඉතා ඉහළ මිලකට අලෙවි වනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.

Game of Thrones හි අනුස්මරණ භාණ්ඩ වෙන්දේසි කෙරුණු පළමු අවස්ථාව මෙය නොවේ.

මීට පෙර 2024 වසරේදී ද මෙහි ප්‍රධාන චරිතයක් වූ ජෝන් ස්නෝගේ ‘ලෝන්ග්ක්ලෝ’ අසිපත, සුප්‍රකට යකඩ සිංහාසනයේ (Iron Throne) අනුරුවක් සහ ඩෙනේරිස් ටාගේරියන් භාවිත කළ ඇඳුම් කට්ටල කිහිපයක් ද විශාල මුදලකට වෙන්දේසි කර තිබේ.