June 20, 2026

ශ්‍රී ලංකාව මුහුණ දෙන අඛණ්ඩ ආර්ථික අර්බුද, සාම්ප්‍රදායික උද්ධමන අර්බුදයන්ට වඩා ඓතිහාසිකව ගෙවුම් ශේෂ අර්බුදයන් වූ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඒ, ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ද වන අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ය.

විදේශ විනිමය සංචිත ක්ෂය වීම, රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වීම, දේශීය ඉතුරුම් දුර්වල මට්ටමක පැවතීම, ප්‍රාග්ධන සම්පාදනය ප්‍රමාණවත් නොවීම සහ බාහිර මූල්‍යකරණය මත පමණක් යැපීම හේතුවෙන් රට නැවත නැවතත් මෙලෙස අස්ථාවරත්වයට පත් වූ බව ඔහු තර්ක කරයි.

එබැවින් අනාගත මුදල් ප්‍රතිපත්තිය සකස් කිරීමේදී, විදේශ විනිමය සංචිත ගොඩනැඟීම, දේශීය ඉතුරුම් දිරිගැන්වීම, ප්‍රාග්ධන සම්පාදනය ප්‍රවර්ධනය කිරීම, නිෂ්පාදන ආයෝජන සඳහා සහය වීම, අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීම සහ රුපියලේ දිගුකාලීන අගය ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවට මන්ත්‍රීවරයා එම ලිපියෙන් ඔහු යෝජනා කර තිබේ.

මුදල් ප්‍රතිපත්තියේ ස්ථාවරත්වයේ සැබෑ පදනම පවතින්නේ හුදෙක් පාරිභෝගික මිල ගණන් කළමනාකරණය කිරීම මත පමණක් නොව, රටේ මූල්‍ය සංචිත සහ නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් කිරීම මත යනුවෙන් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. තම යෝජනාව තවදුරටත් තහවුරු කිරීම සඳහා රවී කරුණානායක මන්ත්‍රීවරයා කලාපීය සහ ලොව දියුණු ආර්ථිකයන් සහිත රටවල් කිහිපයක් දැනට පවත්වාගෙන යනු ලබන උද්ධමන ඉලක්ක ද නිදසුන් ලෙස පෙන්වා දී ඇත.