June 24, 2026

කොටස් වෙළෙඳපොළේ ‘ස්පේස්එක්ස්’ (SpaceX) සමාගමේ කොටස් මිල සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන්, එහි ප්‍රධානී ඉලොන් මස්ක්ගේ පෞද්ගලික වත්කම සතියකටත් අඩු කාලයකදී ඇමෙරිකානු ඩොලර් බිලියන 350කින් පමණ පහත වැටී තිබේ.

ෆෝබ්ස් සඟරාවට අනුව, ස්පේස්එක්ස් කොටස්වල මිල උපරිම අගයේ සිට 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටීම නිසා මස්ක්ගේ ශුද්ධ වත්කම ඩොලර් ට්‍රිලියන 1.45ක උපරිමයක සිට ඩොලර් ට්‍රිලියන 1.1කට වඩා අඩු අගයක් දක්වා පහළ ගොස් ඇත.

ආයෝජකයන් විසින් ස්පේස්එක්ස් සමාගමේ ශීඝ්‍රයෙන් ඉහළ යන වටිනාකම නැවත ඇගයීමකට ලක්කිරීම සහ ණයකර නිකුතුවක් හරහා ඩොලර් බිලියන ගණනක මුදලක් රැස්කිරීමට සමාගම සැලසුම් කිරීමත් සමඟ මෙම කොටස් විකිණීමේ ප්‍රවණතාව හටගෙන තිබේ.

ඒ අනුව, පසුගිය වෙළෙඳ දින තුන තුළදී ස්පේස්එක්ස් කොටස් මිල 27%කින් පමණ පහත වැටී ඇති අතර, එයින් සමාගමේ වෙළෙඳපොළ වටිනාකමෙන් ඩොලර් බිලියන සිය ගණනක් අහිමි වී ගොස් ඇත.

මෙලෙස දැවැන්ත මූල්‍ය පසුබෑමකට ලක්වුවද, ඉලොන් මස්ක් තවදුරටත් ලොව ධනවත්ම පුද්ගලයා මෙන්ම ලොව එකම ‘ට්‍රිලියනපතියා’ ලෙස සිය ස්ථානය රැකගෙන සිටියි.

ඔහුගේ වත්කම්වලින් බහුතරයක් තවමත් පවතින්නේ ස්පේස්එක්ස් සහ ටෙස්ලා සමාගම්වල ඔහු සතු කොටස් වශයෙනි.

ධනවත්කම් පිළිබඳ දත්ත විශ්ලේෂකයන් විසින් මෙම නවතම වාර්තාව තහවුරු කළහොත්, එය මස්ක් විසින්ම මීට පෙර තබා තිබූ ලොව විශාලතම වත්කම් අහිමිවීමේ වාර්තාව ද අභිබවා යනු ඇත.

ඔහු 2022 වසරේදී ද ඇමෙරිකානු ඩොලර් බිලියන 200කට වඩා වැඩි ශුද්ධ වත්කමක් අහිමි කරගත් ලොව පළමු පුද්ගලයා බවට පත්විය.