June 20, 2026

මහජන බැංකුව විසින් තමන් වෙත උකස් කර තිබූ දේපළ ‘පරාටේ නීතිය’ යටතේ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ‘දයා සමූහ ව්‍යාපාරය’ (Daya Group Limited) සහ ‘දයා ඇපරල් එක්ස්පෝර්ට්’ (Daya Apparel Export) සමාගම් ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කර ඇත.

එම ණය මුදල් අයකර ගැනීමට ඉදිරියට යාමට මහජන බැංකුවට නීත්‍යානුකූල අයිතිය ඇති බව අධිකරණය මෙහිදී තීන්දු කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍රගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන් අතර, පෙත්සම්කාර සමාගම්වලට රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) නඩු ගාස්තු ගෙවන ලෙස ද නියෝග කෙරිණි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 1.42කට අධික නොපියවූ ණය මුදල් අයකර ගැනීම සඳහා උකස් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා මෙම සමාගම් විසින් රිට් ආඥා ඉල්ලා තිබිණි.

පෙත්සම්කාර සමාගම් අධිකරණය හමුවේ තර්ක කර තිබුණේ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, කොවිඩ්-19 වසංගතය, ඉන්ධන හිඟය සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් තමන් දැඩි ආර්ථික පසුබෑමකට ලක්වූ බවත්, එමඟින් ණය පියවීමේ හැකියාවට බාධා එල්ල වූ බවත්ය.

එමෙන්ම බැංකුව නීතිවිරෝධී ලෙස පරාටේ බලතල ක්‍රියාත්මක කර ඇති බවත්, අධික විනිමය අනුපාතිකයන් යොදාගනිමින් ණය මුදල වැඩිකර පෙන්වා ඇති බවත් සමාගම් චෝදනා කර තිබිණි.

කෙසේවෙතත්, එම තර්ක ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය, 2021 මාර්තු 26 වැනිදා බැංකුව විසින් නිල වශයෙන් පරාටේ නිවේදනය නිකුත් කර තිබියදීත් ණය පියවීමට පෙත්සම්කරුවන් අපොහොසත් වී ඇති බව පෙන්වාදී ඇත.

ඒ අනුව හිඟ ණය අයකර ගැනීම සඳහා අදාළ දේපළ වෙන්දේසි කිරීමට මහජන බැංකුවට පූර්ණ අයිතිය ඇති බව විනිසුරුවරු ප්‍රකාශ කළහ.

මහජන බැංකුව අධිකරණය හමුවේ කියාසිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ වෙන්දේසිය කල් දැමීමට කිහිපවරක්ම අවස්ථාව ලබාදුන්නද පෙත්සම්කරුවන් දිගින් දිගටම ණය පැහැර හැර ඇති බවයි.

තවද, මහජන බැංකු පනතේ 29D වගන්තිය ප්‍රකාරව ණය ගැතියන්ට බැංකුවේ පරාටේ තීරණ මෙලෙස අභියෝගයට ලක්කළ නොහැකි බවද බැංකුව පෙන්වාදුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ප්‍රේමචන්ද්‍ර සඳහන් කළේ බැංකුව මෙම තීරණය ගෙන ඇත්තේ, 2021 මාර්තු මාසයේදී වුවද, පෙත්සම්කරුවන් රිට් අයැදුම්පත ගොනුකර ඇත්තේ වසරකුත් මාස අටක ප්‍රමදයකින් පසුව, එනම් 2022 නොවැම්බර් මාසයේදී බවයි.

එම ප්‍රමාදයට සාධාරණ හේතුවක් දැක්වීමට පෙත්සම්කරුවන් අපොහොසත් වී ඇති බවද විනිසුරු මඩුල්ල මෙහිදී අවධාරණය කර ඇත.