June 20, 2026

හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ අන්තර්ජාතික පෙර පාසලක ඉගෙනුම ලබන කුඩා දරුවන්ගේ රන් පංචායුධ වරින් වර සොරකම් කරන ලදැයි කියන එම පෙර පාසලේම සේවය කළ 54 හැවිරිදි ආරක්ෂක නිලධාරිනියක මෙම මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ ඊයේ (19) නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත්වූයේ කිරිගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

පෙර පාසල නිමවී නිවසට පැමිණි තම දරුවන්ගේ ගෙල බැඳි රන් පංචායුධ අතුරුදන්ව ඇති බවට දෙමාපියන් පස්දෙනකු විසින් හොරණ පොලිසියට කරන ලද පැමිණිලි මත මෙම විමර්ශනය ආරම්භ කර තිබිණි.

ඒ අනුව පොලිසිය විසින් පෙර පාසල් පරිශ්‍රය දැඩි සෝදිසියකට ලක් කර ඇති අතර, එහිදී ආරක්ෂක කුටිය පරීක්ෂා කිරීමේදී සැකකාරිය සතු කුඩයක් තුළ සඟවා තිබූ රන් පංචායුධ දෙකක් සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය විසින් වරින් වර කුඩා දරුවන්ගේ රන් පංචායුධ මෙලෙස සොරකම් කර ඇති බවට පාපොච්චාරණය කර ඇත.

එසේ සොරකම් කරන ලද පංචායුධ අතරින් පහක් ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථාන වෙත උගස් තබා ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

හොරණ පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් පවසා ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.