June 20, 2026

ආරක්ෂිත පක්ෂි විශේෂ ළඟ තබාගනිමින් නීතිවිරෝධී ලෙස පක්ෂි ජාවාරමක නිරත වූ 27 හැවිරිදි ව්‍යාපාරිකයෙකුට රුපියල් 20,000 ක දඩයක් නියම කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයට අනුයුක්ත වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් ජූනි 14 වැනිදා රුවන්වැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී, ආරක්ෂිත පක්ෂි විශේෂයක් වන ‘තෙපැහැ වී කුරුල්ලන්’ (Tri-colored Munia) 64 දෙනකු සහ ගිරවකු සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ නිවසේ තිබී තවත් පක්ෂි විශේෂ කිහිපයක් ද සොයාගෙන ඇති අතර, ඔහු මීට පෙර ද මෙලෙස ආරක්ෂිත සහ වඳවීමේ තර්ජනයට ලක් වූ වනජීවී විශේෂ අලෙවි කිරීමේ නිරත වී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

වනජීවී නිලධාරීන්ට අනුව මෙම පක්ෂීන් ත්‍රිකුණාමලය, මුතූර් සහ වවුනියාව යන ප්‍රදේශවලින් දිගු කලක් තිස්සේ අල්ලාගෙන, රුවන්වැල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කර මෙලෙස අලෙවි කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ පක්ෂීන් රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, සැකකරු වරද පිළිගත් බැවින් ඔහුට රුපියල් 20,000 ක දඩයක් නියම කෙරිණි.

එමෙන්ම, බේරාගත් පක්ෂීන් හොරගොල්ල ජාතික උද්‍යානයට මුදාහැර ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස වනජීවී නිලධාරීන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඉදිරියේදී මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරත නොවන ලෙස සැකකරුට දැඩි ලෙස අවවාද කර තිබේ.