June 19, 2026

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60ක පවතින උපරිම සිල්ලර මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ, මෙරට වෙළෙඳපොළ තුළ අමෙරිකානු ඩොලරයේ අගය ඉහළයාම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි.

මෙම මිල සංශෝධනය යටතේ අදාළ ඖෂධ වර්ග අතරින් ඇතැම් ඖෂධවල මිල ඉහළ දැමීමට සිදුවන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව, පසුගිය 2023 වසරේදී ඖෂධ වර්ග 60ක් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය මෙලෙස සංශෝධනය කිරීමට නියමිතය.

මේ අතර, පාලන මිල ඉක්මවමින් වැඩිමිලට ඖෂධ අලෙවි කරන ඖෂධ සැල් සොයා මේ දිනවල අඛණ්ඩව වැටලීම් සහ පරීක්ෂාවන් සිදුකරන බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  අවධාරණය කළේය.