June 19, 2026

ශ්‍රී ලංකා පොලිස් සේවයේ කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා බදවා ගැනීමේ දී 2021 වසරේ එම ක්‍රියාවලිය ආරම්භ වී මූලික හා ලිඛිත පරීක්ෂණ සමත් වී ඇගිලි සලකුණු ආදි සියලුම පරීක්ෂණ සමත්වු අපේක්ෂිකාවන්ගේ ⁣වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම කල්දැමීම තුළ මෙම පත්වීම් ලබා දීමට බලධාරින් අපොහොසත් වී ඇති බවත්, මේ වනවිට අදාළ ගැසට් පත්‍රය අවලංගු කර 2026 නව ගැසට්ටුවක් හරහා වයස් සීමා වෙනස් කර අධ්‍යාපන සුදුසුකම් වැඩි කර නව කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමට රජය සූදානම් වන බවටත් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එමෙන්ම ඔහු කියා සිටියේ වසර පහකට අධික කාලයක් පත්වීම් නොලැබ සිටින එම අපේක්ෂිකාවන්ට රජය ලබා දෙන පිළිතුර කුමක්ද යන්න දැන ගැනීමට අවශ්‍ය බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා අයදුම්කර අසාධාරණයට ලක්වූ පාර්ශ්වය සමග පැවැති හමුවකදීය.

2160 හා 2163 යන ගැසට් නිවේදනයේ අඩංගු අපේක්ෂිකාවන් මෙම නව ගැසට් නිවේදය යටතේ බඳවා ගැනීමටත්, 2021 අංක 2215 ගැසට් නිවේදනය යටතේ ඉදිරිපත් වු අපේක්ෂිකාවන් මේ බදවා ගැනීමේ ක්‍රමයෙන් බැහැර කර ක්‍රමවේද දෙකක් ඔස්සේ කටයුතු කිරීම මානව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඔහු චෝදනා කළේය.

එමෙන්ම විපක්ෂ නායකවරයා පැවසුවේ පසුගිය කාලයේ කොස්තාපල්වරියන් බඳවා ගැනීමට පවා කටයුතු කර නොමැති බැවින් අසාධාරණයට පත් පාර්ශවවලට සාධාරණත්වය ඉටු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සහ තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බවයි.