June 19, 2026

රුපියල් මිලියන 31.89කට අධික වටිනාකමකින් යුත් විදේශීය නිෂ්පාදිත සිගරට් තොගයක් මෙරටට හොර රහසේ රැගෙන ආ චීන ජාතිකයින් 13 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටතට යාමට උත්සාහ කිරීමේදී අද උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අද අලුයම 4.00 ට පමණ මැලේසියාවේ ක්වාලා ලාම්පූර් නුවර සිට පැමිණි මැලේසියානු ගුවන් සේවයට අයත් MH 179 දරන ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ..

සැකකරුවන් විසින් ඔවුන්ගේ ගමන් මලු තුළ සහ තේ කොළ අඩංගු පෙට්ටි තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ විදේශීය සිගරට් කාටූන් 1,063ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, එහි අඩංගු සමස්ත සිගරට් සංඛ්‍යාව 212,600කි.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ භාරයේ පසුවන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.