June 18, 2026

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වුණු ‘ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ'(CRPD) රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුවේ (CoSP) 19 වැනි සැසියේ සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් භාරගෙන තිබේ.

මෙම ගෝලීය සංසදයේ 20 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පැවැත්වුණු මෙම සැසියේ සමාරම්භක අවස්ථාව, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

CRPD හි 20 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වුණු මෙම සැසිය සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් ද එක්ව සිටියේය.

එහිදී සභාපතිත්වය දරමින් අදහස් දැක්වූ තානාපති ජයන්ත ජයසූරිය, ආබාධිත පුද්ගලයන් සූරාකෑමෙන්, ප්‍රචණ්ඩත්වයෙන් සහ අපයෝජනයෙන් තොර ලෝකයක් බිහිකිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

මහලේකම් ගුටරේස් මහතා කියාසිටියේ ගෝලීය අභියෝගයන්ට මුහුණදීමේදී ආබාධිත පුද්ගලයන්ට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවයි.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ප්‍රකාශය ඉදිරිපත් කරමින් තානාපතිවරයා, ආබාධිත ප්‍රජාවගේ සුභසාධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම නැවත වරක් තහවුරු කළේය.

මෙම සමාරම්භක සැසිය ඇමතූ ශ්‍රී ලංකාවේ තරුණ නියෝජිත නිල්ෂානි ද සිල්වා, ආබාධිත පුද්ගලයන්ගේ අයිතීන් සුරැකීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පෙන්වා දුන්නාය.

ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වයෙන් පසුවන ඇය, තමන් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ප්‍රකාශ කළේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ආබාධිත තරුණ ප්‍රජාවගේ හඬට නිසි නියෝජනයක් හිමිවිය යුතු බවයි.

මෙවර සමුළුවේදී ප්‍රධාන තේමාත්මක ක්ෂේත්‍ර තුනක් ඔස්සේ ඉහළ මට්ටමේ වටමේස සාකච්ඡා පැවැත්විණි.

ආබාධිත පුද්ගලයන්ට සිදුවන අපයෝජන වැළැක්වීම, ඔවුන්ගේ ස්වාධීනත්වය වෙනුවෙන් ශක්තිමත් ආධාරක පද්ධති ගොඩනැගීම සහ දේශපාලන මෙන්ම පොදු ජීවිතය තුළ ඔවුන්ගේ නායකත්වය සහ සිවිල් දායකත්වය ඉහළ නැංවීම ඊට ඇතුළත් විය.

මෙම සාකච්ඡාවලින් අනතුරුව, එක්සත් ජාතීන්ගේ ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ පැවැති අන්තර්ක්‍රියාකාරී සංවාදයේ මුලසුන ද තානාපති ජයසූරිය විසින් හොබවන ලදී.