June 18, 2026

මෙරට ඉතිහාසයේ සිදුකෙරෙන විශාලතම ගුරු බඳවාගැනීමේ වැඩසටහන ක්‍රියාවට නංවමින්, මේ වසර තුළදී නව ගුරුවරුන් 30,000 කට ආසන්න පිරිසක් රජය විසින් බඳවා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අනුරාධපුරයේදී උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මෙම බඳවාගැනීමේ වැඩසටහන යටතේ උපාධිධාරී ගුරුවරුන් 23,000 ක්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලැබූ ගුරුවරුන් 6,100 ක් සහ අධ්‍යාපන උපාධිධාරීන් සේවයට බඳවාගැනීමට නියමිත බවයි.

එමෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා ඉදිරියේදී අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සහ ගුරු උපදේශකයන් ද ක්‍රමයෙන් බඳවාගැනීමට රජය සැලසුම් කර ඇති බව ඇය කියාසිටියාය.

ගුරු හිඟයට පිළියම් යෙදීම පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරිය, ගුරු ව්‍යාප්තිය, අධ්‍යාපන පරිපාලනය සහ දත්ත කළමනාකරණය ආශ්‍රිත ගැටලුවලට විසඳුම් සෙවීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කළාය.

රජය අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදුකරමින් සිටින බවත්, දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් සෑම උත්සාහයක්ම ගතයුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් අවධාරණය කළාය.