June 14, 2026

1967 පෙබරවාරි 01 වැනිදා උපන් ඇයගේ ලෝකය පිළිබඳ ඇයව දන්නා පිරිසක් ලියා තිබිණි. එහෙත් 1971 පෙබරවාරි 03දා උපන් ඇයගේ ලෝකය ගැන ලිවීම ඒ පිරිස මගහැර තිබිණි. 67 උපන් ඇය 71 උපන් ඇය වන විට බලය අවභාවිත කරමින් සිටි, චේතනාන්විතව වංචාවක් සිදු කළ තැනැත්තියකි.

වරදක් තිබුණාද?

ඇය සතුව තිබුණේ ව්‍යාජ හැඳුනුම්පතකි. ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකි. එය සාමාන්‍ය එකක් ද නොවේ, රාජ්‍ය තාන්ත්‍රික එකකි. ඇය කළ වරද එය සන්තකයේ තබාගැනීම පමණක් නොවේ, එය භාවිත කරමින් අවස්ථා කිහිපයකදී ඇය විදෙස්ගත වී ඇත. එපමණක් ද නොවේ, ඇය එය වරදක් බවත්, එහි වැරදි ඇති බවත් දැන-දැනම ය, එම වරද සිදු කර තිබුණේ. 67 උපන් ඇය 71 උපන් ඇය වූයේ එසේ ය.

සීඅයිඩිය පළිගත්තාද?

රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී ලෙස පුද්ගලයන් විදෙස්ගතවීම වැළැක්වීමේ අංශයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස 2015 පෙබරවාරි 22 අත්අඩංගුවට ගත්තේය. ඉන්පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇය ව 2015 මාර්තු 04 වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණද, පෙබරවාරි 27දා මෝෂන් එකක් මගින් ඇප ගත්තාය. පසුව ව්‍යාජ තොරතුරු සහිත විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීමේ චෝදනාවට 2002 මැයි 27දා එවකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් ඇයට වසර 02ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් ද ඇයට නියම කෙරුණු අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 06ක සිරදඬුවම් කාලයක් නියම කෙරිණි.

බොරු චෝදනා ඉදිරිපත් කළාද?

මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කර තිබූ වැදගත් කරුණු කිහිපයක් විය. එම කරුණුවලින් අනාවරණය වූයේ 1971 උපන් ඇය කවුද යන්න ය. ඇමැති බිරිඳක ලෙස ඇය නිල බලය භාවිත කළ ආකාරයත්, එක් දින සේවාව යටතේ මේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමේදී අඩු තරමේ ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඊට අදාළ කවුළුව ළඟටවත් ගොස් නැති බවත්, එය බලය භාවිත කරමින් ලබාගත් ආකාරයත් ඔහු අධිකරණය ඉදිරියේ පැහැදිලි කළේය. ඒ සාක්ෂි සහිතව ය. විත්තියේ සහ පැමිණිල්ලේ සියලු කරුණු සලකාබැලීමෙන් පසුව ය, මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇයට දඬුවම් නියම කෙරුණේ.

මහාධිකරණය ඇයි එහෙම තීන්දුවක් ගත්තෙ?

මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවට එරෙහිව ඇය මහාධිකරණයට ඇප අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කළාය. එහිදී ඇයට ඇප ලැබිණි. එම අභියාචනය කොළඹ මහාධිකරණයේදී 2026 ජුනි 11දා වන තෙක් විභාග විය. එනම් පසුගිය බ්‍රහස්පතින්දා ය. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මහෙස්ත්‍රාත්වරයා 2022 වසරේදී ලබාදී තිබූ තීන්දුව ස්ථිර කළේය.

මහාධිකරණය විසින් මහෙස්ත්‍රාත්වරයාගේ තීන්දුව පුළුල් ලෙස අධ්‍යයනය කර තිබිණි. බී/3642817 අංකය දරන අවිධිමත් සහ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය සන්තකයේ තබාගැනීම සහ එය භාවිත කිරීම ඇයට එරෙහිව එල්ල වූ චෝදනාව විය.

බයක් දැනුණේ නැද්ද?

මෙහිදී මහාධිකරණයේ නිගමනය වූයේ මහෙස්ත්‍රාත්වරයා නියමිත ලෙස සාක්ෂි සලකා බලා ඇති බවයි. ආගමන විගමන පනතේ 1 (ඊ) වගන්තියේ සඳහන් වන්නේ නීත්‍යනුකූල බලයක් නැති ව්‍යාජ ලෙස සකස් කළ ආගමන විගමන බලපත්‍රයක් හෝ වීසා බලපත්‍රයක් ළඟ තබාගැනීම හෝ භාවිති කිරීම සම්බන්ධයෙනි. එනම්, 71 උපන් ඇය එය ළඟ තබාගෙන පමණක් නොවේ, කිසිදු බියකින් තොරව භාවිත කර ඇත.

නොදැන කළ වරදක්ද?

ඇයගේ සත්‍ය උපන් වර්ෂය 1967 ය. සත්‍ය ජාතික හැඳුනුම්පතේ අංකය ආරම්භ වන්නේ 67නි. 2004 වසරේදී ඇය ලබාගත් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයට ලබාදී ඇත්තේ එම උප්පැන්න සහතිකයයි. එහෙත් 2010 වසරේදී ඇය වර්ෂය වෙනස් කර වෙනත් ජාතික හැඳුනුම්පතක් සකස් කර තිබේ. එහි අංකය ආරම්භ වන්නේ 71නි. එය යොදාගනිමින් සාමාන්‍ය නොවන රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇත.

ඇය වරදක් ලෙස දැන-දැනම මෙය භාවිත කර තිබේ. ඇය විත්ති කූඩුවේ සිට ම පවසා තිබුණේ මේ බලපත්‍රයේ නමේ එක් තැනක සහ අංකවල වරදක් ඇතැයි දැන සිටි බවකි. එහෙත් ඇය එය නිවැරදි කරගැනීමට කිසිදු උත්සාහයක් ගෙන නැත.

දැන් ඇයට තවත් අභියාචනා අවස්ථා තිබේ. ඒවා ඇයට භාවිත කළ හැකිය. එහෙත් මහෙස්ත්‍රාත්වරයාගේ තීන්දුව ඉතා පැහැදිලි සාක්ෂි මත ගත් නිවැරදි තීන්දුවක් බව මහාධිකරණය ස්ථිර කර තිබේ.

බලය අවභාවිත කිරීමේ සෙල්ලම !

සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් හෝ නොවන, රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ව්‍යාජ තොරතුරු ලබාදී සකස් කරගෙන, වැරදි ඇති බව දැන-දැනම එය භාවිත කිරීමෙන් පෙන්වන්නේ ඇයට බලය අවභාවිත කිරීම කොතරම් සැහැල්ලු කරුණක් වූයේ ද යන්නයි.

(උපුටාගැනීම – ජනමාධ්‍යවේදී ශාලික විමලසේනගේ ෆේස්බුක් පිටුවෙන්)