June 12, 2026

චීනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි ඔත්තු බැලීමේ නිරත වූ බවට චෝදනා කරමින් ඇමරිකානු විද්වතෙකු අත්අඩංගුවට ගත් බව චීන විදේශ අමාත්‍යාංශය තහවුරු කරයි.

මියන්මාරය පිළිබඳ පර්යේෂණ පවත්වන චින්තන පර්ෂදයක අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන යූ මින් සින් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ජූනි මස මුලදී බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මීට පෙර වාර්තා කළේය.

මියන්මාර දේශ සීමාවට ආසන්න චීනයේ කුන්මිං නගරයේ සංචාරය කරමින් සිටියදී ඔහු අතුරුදන් වී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

චීනය විසින් ජාතික ආරක්ෂක හේතූන් මත ඇමරිකානු පුරවැසියන් අත්අඩංගුවට ගැනීම අතිශය දුර්ලභ සිදුවීමක් වන අතර, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයක නිරත වී චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉහළ පිළිගැනීමක් ලබා සති කිහිපයකට පසුව මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.

එමෙන්ම මියන්මාර ජනාධිපති මින් අවුන් හ්ලියැං ලබන සතියේ බීජිං නුවර සංචාරය කිරීමට නියමිතව තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.