June 12, 2026

නවසීලන්තය බිහිකළ විශිෂ්ටතම පිතිකරුවකු මෙන්ම සියලුම තරඟ රටාවලින් එරට වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වන කේන් විලියම්සන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

විලියම්සන්ගේ මෙම ප්‍රකාශයත් සමඟ වසර 16ක් පුරා පැතිරුණු ඔහුගේ දීප්තිමත් අන්තර්ජාතික ක්‍රිකට් දිවිය නිමාවට පත්වේ.

ඔහු නවසීලන්තය වෙනුවෙන් අන්තර්ජාතික තරඟ 378කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී පිතිකරණ වාර්තා රැසක් පිහිටුවමින් ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ ගෞරවය හා ආදරය දිනාගැනීමට සමත් විය.

35 හැවිරිදි මෙම සුපිරි පිතිකරුවා අන්තර්ජාතික ලකුණු 19,346ක් ලබා ගනිමින් නවසීලන්ත ඉතිහාසයේ වැඩිම අන්තර්ජාතික ලකුණුලාභියා ලෙස තම ක්‍රිකට් දිවිය අවසන් කරයි. ඔහුගේ ලකුණු සංඛ්‍යාවට ශතක 48ක් සහ ද්විත්ව ශතක 6ක් ඇතුළත් වේ.

සිය විශිෂ්ට පිතිකරණ දක්ෂතාවයට අමතරව, විලියම්සන්ගේ නායකත්ව විලාසයද කාගේත් පැසසුමට ලක්විය. 2016 සිට 2024 දක්වා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ස්වර්ණමය යුගයේදී ඔහු තුන්ඉරියව්වෙන්ම කණ්ඩායම මෙහෙයවීය. ඔහුගේ නායකත්වය යටතේ නවසීලන්තය අයි.සී.සී. (ICC) ලෝක කුසලාන අවසන් මහා තරඟ දෙකකට සහ අර්ධ අවසන් මහා තරඟ තුනකට සුදුසුකම් ලැබූ අතර, 2021 වසරේ පැවැති කුලුඳුල් ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය කිරීමටද සමත් විය.

2010 වසරේදී නවසීලන්ත කණ්ඩායමට එක් වූ විලියම්සන්, ඉකුත් නොවැම්බර් මාසයේදී විස්සයි20 තරඟ රටාවෙන් විශ්‍රාම ගත් අතර, දැන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සම්පූර්ණයෙන්ම සමු ගැනීමට සුදුසුම කාලය පැමිණ ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

“මම මේ ගැන සෑහෙන කාලයක් තිස්සේ කල්පනා කළා. ඒත් පහුගිය දින කිහිපය තුළ මට පැහැදිලි වුණා මේ තමයි සමුගන්න හොඳම වෙලාව කියලා. අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මගේ හදවතේ හැමදාම ලොකු උනන්දුවක් සහ කැපවීමක් තිබුණා. නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරපු හැම තරඟයකදීම මගේ උපරිමය ලබාදුන්නා කියන එක ගැන මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඊට වඩා අඩු කැපවීමකින් දිගටම ක්‍රීඩාකරන එක නිවැරදි නැහැ. ඒ වගේම මගේම කැමැත්ත මත මේ තීරණය ගන්න ලැබීම මගේ භාග්‍යයක්.

මම මේ කණ්ඩායම ගැන ලොකු බලාපොරොත්තුවක් ඇතිව සමුගන්නේ. මේ නවසීලන්ත කණ්ඩායම තුළ විශාල දක්ෂතාවයක් සහ සුවිශේෂී යමක් කරන්න ලොකු වුවමනාවක් තියෙනවා. මම ආදරය කරන මේ කණ්ඩායමේ මෙතරම් කාලයක් කොටස්කරුවෙක් වෙන්න ලැබීම ගැන මම ඇත්තටම වාසනාවන්තයි. එය සැමදා මගේ හදවතට සමීපව පවතිනු ඇතැයි,” විලියම්සන් පැවසීය.

නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු රොබ් වෝල්ටර් ප්‍රකාශ කළේ විලියම්සන් කෙරෙහි තමන් තුළ ඇත්තේ ඉහළම ගෞරවයක් සහ ඇගයීමක් බවයි.

“ඔහු ශාරීරිකව සහ මානසිකව සූදානම් වූ ආකාරය සැබවින්ම සිත් ඇදගන්නාසුළුයි. ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් වීමට අවශ්‍ය පරිදි තම දක්ෂතා සහ තාක්ෂණය දියුණු කර ගැනීමට ඔහු නිරන්තරයෙන් වෙහෙස මහන්සි වී වැඩ කළා. ඔහු කිසිම අවස්ථාවක කලබල නොවන නායකයෙක් වගේම අපේ ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම අවස්ථාවන්හි නිර්මාණකරුවා වුණා. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ සියලුම කැපවීම්වලට මම ඔහුට ස්තූතිවන්ත වන අතර, ඔහුගේ විශ්‍රාම දිවියට සුබපතනවා,” යැයි පුහුණුකරුවා පැවසීය.

විලියම්සන්ගේ මෙම ක්ෂණික විශ්‍රාම ගැනීම හේතුවෙන් නවසීලන්ත කණ්ඩායම මේ දිනවල එංගලන්තයේ නිරත වන ටෙස්ට් තරඟාවලියේ ඉදිරි තරඟ සඳහා ඔහු ක්‍රීඩා නොකරනු ඇත. ඒ සඳහා ආදේශක ක්‍රීඩකයකු ඉදිරියේදී නම් කිරීමට නියමිතය.