June 12, 2026

වසර තුනකට අධික කාලයක් කෝමා තත්ත්වයේ (සිහිසුන්ව) පසු වූ තායිලන්තයේ බජ්රකිතියාභා කුමරිය (Princess Bajrakitiyabha) අභාවප්‍රාප්ත වූ බව එරට රජමාලිගාව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මියයන විට ඇය 47 වැනි වියේ පසුවූවාය.

2022 දෙසැම්බර් මාසයේදී සිය සුරතල් සුනඛයන් සමඟ ව්‍යායාම කරමින් සිටියදී ඇය හදිසියේම ඇද වැටුණු අතර, වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ හෘදයේ ඇති වූ බැක්ටීරියා ආසාදනයක් (Mycoplasma Infection) හේතුවෙන් ඇගේ හෘද ස්පන්දනය දැඩි ලෙස අක්‍රමවත් වීම මීට හේතුව වූ බවයි.

බැංකොක් නුවර චුලාලොන්කෝන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුමරිය, පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 07:48 ට පමණ අවසන් හුස්ම හෙළා ඇත.

මහා වජිරලෝන්කෝන් රජුගේ වැඩිමහල් දියණිය වූ ඇය, තායි රාජකීය පවුලේ සිටි වඩාත්ම උගත් සහ දක්ෂතම සාමාජිකාව ලෙස සැලකේ.

ඇමරිකාවේ කෝනෙල් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ පශ්චාත් උපාධි ලබාගත් ඇය, ඔස්ට්‍රියාවේ තායිලන්ත තානාපතිනිය ලෙස මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UNODC) විශේෂ තානාපතිනියක ලෙසද කටයුතු කළාය.

විශේෂයෙන්ම තායිලන්තයේ බන්ධනාගාරගතව සිටින කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඇය විශාල හඬක් නැඟුවාය.

ඇගේ අභාවයත් සමඟ තායිලන්තයේ මීළඟ රාජ්‍ය උරුමකරු කවුද යන වගකීම දැඩි අර්බුදයකට ලක්ව තිබේ.

73 හැවිරිදි වජිරලෝන්කෝන් රජු මෙතෙක් නිල උරුමක්කාරයෙකු නම් කර නැත.

සාම්ප්‍රදායිකව පිරිමි පාර්ශවයට රජකම හිමි වුවද, කාන්තාවකට වුවද සිහසුනට පත්වීමට ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා තිබූ බැවින්, බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටියේ බජ්රකිතියාභා කුමරිය කෙරෙහිය.

කෙසේවෙතත්, තායිලන්තයේ පවතින දැඩි රාජද්‍රෝහී නීති (Lese Majeste Law) හේතුවෙන් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම එරට වැසියන්ට තහනම් වේ.