June 12, 2026

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට දැඩි ලෙස මානසික පීඩනයක් එල්ල කළේ යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින්, එහි ප්‍රධාන පුහුණුකරු මහේෂ් වීරසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මේ සමඟම ක්‍රිකට් ආයතනයේ පුහුණුකරු තනතුරෙන්ද ඔහුගේ සේවය වහාම අත්හිටුවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් තහවුරු කර ඇත.

පසුගිය 10 වැනිදා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති පුහුණු තරගයෙන් 19න් පහළ කණ්ඩායම ජයග්‍රහණය කර තිබුණද, පුහුණුකරු විසින් ක්‍රීඩිකාවන්ට දැඩි ලෙස දොස් නගා ඇත.

එහිදී එල්ල වූ දැඩි මානසික පීඩනය දරාගත නොහැකිව කණ්ඩායම් නායිකා චමුදි ප්‍රබෝධා ව්‍යාකූල තත්ත්වයට පත්ව රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම රැස්වූ කාන්තා ක්‍රිකට් කමිටුව මෙම තීරණයට එළඹ ඇති අතර, මහේෂ් වීරසිංහගේ ක්‍රියා කලාපය පිළිබඳව ඉදිරියේදී විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටද නියමිතය.

මෙම පුහුණුකරුගෙන් ක්‍රීඩිකාවන්ට මීට පෙරද දිගින් දිගටම පීඩන එල්ල වී ඇති අතර, ඇතැම් දක්ෂ ක්‍රීඩිකාවන් එම දරාගත නොහැකි පීඩනය හේතුවෙන්ම ක්‍රීඩාවෙන් පවා ඉවත් වී ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

හිස් වූ මෙම 19න් පහළ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා රුවින් පීරිස් වහාම පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.