June 1, 2026

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය තුළ පිතිකරුවන් දිගින් දිගටම ලකුණු ගොඩගසමින් පන්දු යවන්නන් දැඩි අභියෝගයකට ලක්කර තිබීම හේතුවෙන්, ක්‍රීඩාවේ පවතින අසමබරතාව වැළැක්වීම සඳහා ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්තයක් බඳු සචින් ටෙන්ඩුල්කාර් විසින් ප්‍රධාන සංශෝධන තුනක් යෝජනා කර තිබේ.

උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වූ ටෙන්ඩුල්කාර්, වත්මන් විස්සයි20 සහ IPL තරග රටාව වෙනස් කිරීම සඳහා පහත දැක්වෙන යෝජනා ඉදිරිපත් කළේය:

ඉන් පළමුවැන්න වන්නේ, ‘ඉම්පැක්ට් ප්ලේයර්’ (Impact Player) නීතිය ඉවත්කිරීමයි. මෙම නීතිය හේතුවෙන් කණ්ඩායම්වලට අතිරේක පිතිකරුවෙකු එක්කර ගැනීමට අවස්ථාව ලැබෙන බවත්, එමඟින් පන්දු යවන්නන්ගේ තත්ත්වය තවත් අසීරු වන බවත් සචින් පවසයි.

දෙවැන්න, පවර් ප්ලේ (Powerplay) ඕවර බෙදා වෙන්කිරීමයි. මුල් ඕවර 4 අනිවාර්ය පවර් ප්ලේ ඕවර ලෙස තබාගෙන, ඉතිරි පවර් ප්ලේ ඕවර 2 ඉනිමේ ඕනෑම අවස්ථාවක භාවිත කිරීමේ අයිතිය පන්දු රකින කණ්ඩායමේ නායකයාට ලබාදිය යුතුය.

තුන්වැන්න වන්නේ, එක් පන්දු යවන්නෙකුට ඕවර 5ක් ලබාදීමයි. දැනට පවතින ඕවර 4 සීමාව වෙනුවට කණ්ඩායමක සිටින දක්ෂතම පන්දු යවන්නාට ඕවර 5ක් යැවීමට අවස්ථාව දීම තුළින් ප්‍රතිවාදී ප්‍රබල පිතිකරුවන්ට එරෙහිව වැඩි බලපෑමක් කිරීමට කණ්ඩායම්වලට අවස්ථාව ලැබේ.

වත්මන් ‘ඉම්පැක්ට් ප්ලේයර්’ නීතිය හේතුවෙන් තරගයේ වාසිය පිතිකරුවන් දෙසට පමණක් ඕනෑවට වඩා ගමන්කර ඇති බව පෙන්වාදෙන ටෙන්ඩුල්කාර්, තමන් යෝජනා කළ අනෙක් ක්‍රමවේදයන් හරහා තරගයට වඩාත් උපායමාර්ගික සමබරතාවක් ලැබෙනු ඇති බව සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම 2026 IPL තරග වාරය තුළ කණ්ඩායම් කිහිපයක්ම නිරන්තරයෙන් ලකුණු 250 සීමාව පසුකර යෑමත් සමඟ විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාව තුළ පිතිකරුවන්ගේ ආධිපත්‍යය පිළිබඳව ඇතිව තිබෙන දැඩි කතාබහ මධ්‍යයේ සචින් ටෙන්ඩුල්කාර් මෙම අදහස් පළකර තිබේ.