May 28, 2026

උපායමාර්ගිකව ඉතා වැදගත් වරාය නගරයක් වන බන්ඩර් අබ්බාස් හි පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් ඇමරිකානු හමුදාව විසින් ඉරානයට නව ප්‍රහාර එල්ල කර තිබේ.

ඇමරිකානු මධ්‍යම විධානය තහවුරු කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය අවට ප්‍රදේශයට තර්ජනයක් වූ ඉරානයේ ප්‍රහාරක ඩ්‍රෝන යානා හතරක් ද තම හමුදාව විසින් බිම හෙළූ බවයි.

පස්වන ඩ්‍රෝන යානය දියත් කිරීමට සූදානම් වෙමින් තිබියදී බන්ඩර් අබ්බාස් හි පිහිටි ඉරාන භූමි පාලන මධ්‍යස්ථානය ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කළ බව ඔවුහු පැවසූහ. නගරයට නැගෙනහිර දෙසින් ප්‍රබල පිපිරීම් හඬ ඇසුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ ඇමරිකාව සහ ඉරානය අතර පවතින බිඳෙනසුලු සටන් විරාමයක් මධ්‍යයේ මෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය අඩාල කරමින් සහ ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ නංවමින් මාස තුනක් පුරාවට පැවති යුද්ධය අවසන් කිරීම සඳහා පැවැත්වෙමින් තිබෙන සාකච්ඡා අතරතුරදීය.

ඇමරිකානු මධ්‍යම විධානය මෙම ප්‍රහාර හැඳින්වූයේ සටන් විරාමය පවත්වා ගැනීම සඳහා සිදු කරන ලද, ස්වයං ආරක්ෂාව සඳහා වූ සීමිත පියවරක් ලෙසයි.

මේ අතර ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය දැන් ඉතා අසරණ තත්ත්වයක සිට සාකච්ඡා කරමින් සිටින බවයි. එමෙන්ම එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණ හේතුවෙන් තම යුද උපායමාර්ගයට කිසිදු බලපෑමක් සිදු නොවන බවද ඔහු අවධාරණය කළේය. “සමහරවිට අපිට ආපහු ගිහින් මේක ඉවරයක් කරන්න වෙයි, සමහරවිට එහෙම නොකරන්න වෙයි,” යනුවෙන් ඔහු පැවසීය.

එම රැස්වීමේදීම ජනාධිපතිවරයා ගල්ෆ් කලාපීය රටවලින් ඉල්ලා සිටියේ ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා “ඒබ්‍රහම් ගිවිසුමට” අත්සන් තබන ලෙසයි. පෙබරවාරි 28 වනදා ඇමරිකාව සමඟ එක්ව මෙම යුද්ධය ආරම්භ කළේ ඊශ්‍රායලය වන අතර, ඔවුහු මේ වන විට ලෙබනනයේ ක්‍රියාත්මක ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානය සමඟ ද යුද්ධයක පැටලී සිටිති.