May 27, 2026

අම්පාර පොලිස් බලප්‍රදේශයේ ‘ට්‍රැක්ටර් හන්දිය’ අසලදී ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

පොලිසියට අනුව, බුද්ධංගල සිට හොල්මන්ගල දෙසට ධාවනය වූ ටිපර් රථයක්, බාලිකා වටරවුමේ සිට අම්පාර දිස්ත්‍රික් මහා රෝහල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් ඊයේ (26) රාත්‍රියේ මෙම අනතුර සිදු වී ඇත.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ පසුපස ගමන් කළ මගීන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා අම්පාර දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඩයන්තලාව සහ නවගම්පුර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 සහ 24 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර, කොස්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ ‘යාලේගම හන්දිය’ අසලදී ගාල්ල දෙසට ධාවනය වූ වාහනයක ගැටීමෙන් පදිකයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරෙන් පසු රථය පලාගොස් ඇත.

රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ පදිකයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

අනතුර සිදු කළ වාහනය සහ එහි රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගොඩ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.