May 27, 2026

ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ අණදෙන නිලධාරී මොහොමඩ් ඔඩේහ් ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසයි.

එම සංවිධානයේ හිටපු අණදෙන නිලධාරියා ද ඊශ්‍රායලයෙන් එල්ල වූ මෙවැනිම ප්‍රහාරයකින් මීට දින කිහිපයකට ඉහත දී මියගොස් ගියේය.

දේශීය වෛද්‍යවරුන් සහ සිද්ධිය ඇසින් දුටුවන් පැවසූ පරිදි, ගාසා නගරයේ කාර්යබහුලම ප්‍රදේශයක පිහිටි නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් ඊයේ එල්ල වූ මෙම මහා පරිමාණ ප්‍රහාරයෙන් අවම වශයෙන් පලස්තීනුවන් තිදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.

Shin Bet ලෙස හැඳින්වෙන ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සිය සහ එරට හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මාස කිහිපයක් තිස්සේ ඔඩේහ්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, ඔහු සැඟවී සිටීමට භාවිත කළ ගොඩනැගිල්ල මෙලෙස ඉලක්ක කළ බවයි.

හමාස් සංවිධානය සමඟ සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ලද නවතම මාරාන්තික ප්‍රහාරය මෙය වේ.

ප්‍රහාරය පිළිබඳ ඊශ්‍රායල ආරක්ෂක බලකාය සහ ෂින් බෙට් ආයතනය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ ත්‍රස්තවාදී මුහම්මද් ඔඩේහ් තුරන් කිරීම සඳහා එක්ව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමේ කොටසක් ලෙස, ගාසා නගරය මධ්‍යයේ පිහිටි ඔහු සැඟවී සිටි ගොඩනැගිලි කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවයි.

මෙය සිදු කරනු ලැබුවේ ඔහුගේ සහ ඔහුගේ සහායකයන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීම සඳහා මාස ගණනාවක් තිස්සේ සිදු කරන ලද බුද්ධි තොරතුරු නිරීක්ෂණවලින් පසුව බව ද ඊශ්‍රායක හමුදාව පවසයි.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ඔක්තෝබර් 7 ප්‍රහාරය සඳහා ඊශ්‍රායලයට කඩා වැදුණු සහ ඔඩේහ්ගේ සමීපතම සහායකයෙකු වූ හමාස් ත්‍රස්තවාදියෙකුට අයත් මහල් නිවාසයකට ද ප්‍රහාර එල්ල කළ බවයි.