May 27, 2026

කොංගෝව සහ උගන්ඩාව තුළ දැනට හිස ඔසවමින් පවතින Bundibugyo ඉබෝලා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කනස්සල්ලෙන් පසුවන පසුබිමක, මෙම නව ඉබෝලා වෛරස් ප්‍රභේදයට එරෙහිව සිය විද්‍යාඥයින් විසින් එන්නතක් නිපදවා ඇති බව රුසියාව නිවේදනය කර තිබේ.

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ ප්‍රකාශ කළේ, මේ වන විට කිසිදු අනුමත එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති මෙම දුර්ලභ ‘බුන්ඩිබුගියෝ’ ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාව සැලසීමට මෙම නව එන්නතට හැකියාව ලැබෙනු ඇති බවයි.

මධ්‍යම අප්‍රිකානු කලාපය පුරා මෙම වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පවසමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම වෛරස් ව්‍යාප්තිය “ජාත්‍යන්තර සැලකිල්ලට භාජනය විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්” ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව රුසියාව විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තක්සේරුවලට අනුව, මෙම වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විටත් පුද්ගලයන් රැසක් ආසාදිතයන් ලෙස තහවුරු වී මියගොස් ඇති අතර, වෛරසය ආසාදනය වී ඇතැයි සැකකෙරෙන තවත් සිය ගණනක් පිළිබඳව මේ වන විට පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.

රුසියාවේ මෙම එන්නත් නිවේදනය ලෝකය පුරා දැඩි උනන්දුවක් ඇති කිරීමට සමත් වී තිබුණත්, සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ වෙනත් කරුණකි.

මෙම එන්නත පුළුල් භාවිතය සඳහා ආරක්ෂිත සහ ඵලදායී එකක් ලෙස පිළිගැනීමට නම් මිනිසුන් යොදාගෙන සිදුකරන සායනික පරීක්ෂණවල දත්ත, ක්ෂේත්‍රයේ අනෙකුත් විද්‍යාඥයන් විසින් සමාලෝචනය කරන ලද ප්‍රකාශන සහ නියාමන ආයතනවල විධිමත් විමර්ශන යන සියල්ල අත්‍යවශ්‍ය වනු ඇති බවට ඔවුහු අනතුරු අඟවති.