May 25, 2026

පිලිපීනයේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු අතුරුදන් වී ඇති බව බලධාරීන් පවසයි.

මේ වන විට එම ස්ථානයේ සෙවීමේ සහ මුදාගැනීමේ කටයුතු ක්‍රියාත්මක වේ.

අගනුවර වන මැනිලා නුවරට උතුරින් පිහිටි ඇන්ජලීස් නගරයේ පිහිටා තිබූ මෙම මහල් නවයකින් යුත් ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් විය.

නමුත් මුදාගත් පුද්ගලයින් අතර සිටි එක් අයෙකු පසුව මියගිය බවත්, තවත් අයෙකු සුන්බුන් අතර සිරවී සිටියදීම හෘදයාබාධයකට ලක්වූ බවත් ගිනි නිවීම් සේවා කාර්යාංශයේ තොරතුරු නිලධාරිනී මාරියා ලීගා සජිලි රොයිටර් පුවත් සේවයට දුරකථනයෙන් පවසා තිබේ.

පසුව මුදාගැනීමේ කණ්ඩායම් විසින් තවත් මළ සිරුරක් සුන්බුන් අතරින් ඉවතට ගෙන ඇති නමුත් හඳුනා නොගත් එම සිරුර අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවේ සිටි අයෙකුගේද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැති බව නවතම වාර්තා සඳහන් කරයි.

මෙම අවිනිශ්චිතතාවය හේතුවෙන් තවමත් පුද්ගලයන් 17 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව බලධාරීන් සලකන අතර, ඔවුන්ගෙන් බහුතරය මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ගොඩනැගිලි පරිශ්‍රයේ නිදා සිටි ඉදිකිරීම් කම්කරුවන් වේ.

මියගිය සිව්වැන්නා ආසන්නයේ පිහිටි ලැගුම්හලක සිටි මැලේසියානු සංචාරකයෙකි. ගොඩනැගිල්ල කඩා වැටීමෙන් විසිවූ සුන්බුන් මෙම ලැගුම්හලේ කොටසකට කඩා වැටී තිබුණි. එහි සිටි තවත් පුද්ගලයෙකු ද තුවාල ලබා තිබුණද, ඔහුට එතැනින් බේරී දිවයෑමට හැකි වී ඇතැයි නිලධාරීන් පැවසීය.

මේ වන විට අනතුර සිදුවූ ස්ථානයෙන් පුද්ගලයන් 26 දෙනෙකු බේරාගෙන තිබේ.