May 25, 2026

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වාහන රක්ෂණ කාඩ්පත් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, ඉදිරියේදී රක්ෂණ ක්ෂේත්‍රයට අදාළ සියලුම ලේඛන ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සාමාන්‍ය රක්ෂණ සංසදයේ සභාපති දිනුෂ තිලංක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ක්‍රමය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (25) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංක කියා සිටියේ, දැනට වාහන සඳහා නිකුත් කරනු ලබන රක්ෂණ කාඩ්පත් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නතර කරන බවයි.

ඒ වෙනුවට රක්ෂණ සමාගම් මඟින් පාරිභෝගිකයන් වෙත ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිකුත් කරනු ඇත.

මෙම ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ජංගම දුරකථන, වෙබ් අඩවි හෝ QR කේත මඟින් පරිශීලනය කිරීමට රියදුරන්ට අවස්ථාව ලැබෙන බව ද ඔහු සඳහන් කළේය.

ඩිජිටල් රක්ෂණ කාඩ්පතක සත්‍යතාව ඕනෑම වේලාවක 1338 යන විශේෂ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තහවුරු කරගත හැකි බව සභාපතිවරයා පැහැදිලි කළේය.

මෙම සේවාව ක්‍රමවේද 3ක් ඔස්සේ ක්‍රියාත්මක වේ.

පරිශීලකයින්ට තම ජංගම දුරකථනයෙන් *1338# ඇමතීමෙන් පසු තිරය මත දිස්වන උපදෙස් අනුගමනය කරමින්, වාහන අංකය හෝ රක්ෂණ ඔප්පු අංකය ඇතුළත් කර විස්තර ලබාගත හැක.

එවිට වලංගු රක්ෂණාවරණයක් පවතින්නේද යන්න තහවුරු කරන පණිවිඩය තත්පර කිහිපයක් ඇතුළත ජංගම දුරකථනයට ලැබෙනු ඇත.

වාහන අංකය හෝ රක්ෂණ ඔප්පු අංකය කෙටි පණිවිඩයක් (SMS) ලෙස 1338 අංකයට යැවීමෙන් ද රක්ෂණ විස්තර ලබාගත හැකිය.

1338 අංකය ඇමතීමෙන් පසු ස්වයංක්‍රීය හඬ මඟ පෙන්වීම ඔස්සේ අදාළ රක්ෂණ සමාගම තෝරාගෙන, එම සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය සමඟ සෘජුවම සම්බන්ධ වීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමි වේ.

සභාපති දිනුෂ තිලංකට අනුව, මහජනතාවට කිසිදු බාධාවකින් තොරව මෙම සේවාව ලබාගැනීම සඳහා මෙම ක්ෂණික ඇමතුම් පද්ධතිය වසරේ දින 365 පුරාම පැය 24 පුරාම ක්‍රියාත්මකව පවතිනු ඇත.