May 25, 2026

බටපොල ප්‍රදේශයේ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් මිනීමැරීමේ චෝදනාවට ලක්ව සිටි විත්තිකරුවන් පස්දෙනෙකු වැරදිකරුවන් බව තීරණය කරමින් බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත ඔවුන්ට මරණ දඬුවම නියම කර තිබේ.

2007 ජූලි 29 වැනි දින පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් ඇතිවූ ගැටුමකදී, බටපොල, බටදූව පදිංචිව සිටි ජී. මංජුල නැමැති අයකුට මොවුන් විසින් පොලුවලින් පහරදී ඝාතනය කර තිබිණි.

ඉකුත් සිකුරාදා (22) මෙසේ මරණ දඬුවම නියම වූයේ කුලප්පුවාවඩු වසන්ත ජයලත්, කුලප්පුවාවඩු පර්ල් බන්දුල, කුලප්පුවාවඩු නන්දන පද්මකීර්ති, සිද්ධ මරක්කල ජනක කුමාර සහ හිනිදුමගේ ලහිරු මධුරංග යන බටපොල පදිංචිකරුවන් පිරිසකටය.

මොවුන්ගෙන් දෙදෙනෙකු පියකු සහ පුතකු වන බව වාර්තා වේ.

මරණ දඬුවම ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිලි පාර්ශවය විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බැවින් ඔවුන් වැරදිකරුවන් බවට තීන්දු කරන බවයි.

මෙම නඩුව වෙනුවෙන් රජයේ නීතිඥ හිරුණි ගුණතිලක පැමිණිල්ල මෙහෙයවූ අතර මීටියාගොඩ පොලිසිය පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කළේය.