May 25, 2026

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් දෙදෙනකු හෂීස් මත්ද්‍රව්‍ය හා විදේශීය දුම්වැටි 40 ක් සමඟ විශ්වවිද්‍යාලයේ විනය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පේරාදෙණිය පොලිසියට බාරදෙනු ලැබ තිබේ.

විශ්වවිද්‍යාලීය මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරය තුළදී ඊයේ (24) අලුයම මෙම සිදුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව හෂීස් මිලි ග්රෑම් 7530 ක් තිබූ බව විනය ආරක්ෂක අංශය පවසයි.

සිසුන් දෙදෙනා 23 න් වියේ පසුවන බවත් ඔවුන් කෝට්ටේ සහ මීරිගම පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.

සිසුන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට මෙන්ම විශ්වවිද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය විකිණීමට පෙළඹී තිබෙන බවට ලද තොරතුරත් මත විනයාරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (24) මධ්‍යම රාත්‍රි 12.30 ට පමණ නේවාසිගාරය හදිසි පරීක්ෂාවකට ලක්කර තිබේ.

එම අවස්ථාවේ එක් සිසුවකු සතුව හෂීස් මිලිග්රෑම් 3410 ක් ද අනෙක් සිසුවා සතුව හෂීස් මිලි ග්රෑම් 4120 ක් තිබී ඇත. සිසුන් දෙදෙනා සතුව විදේශීය දුම්වැටි 20 බැගින් තිබූ බව වැටලීම කළ නිලධාරීහු පැවසූහ.

මෙයට පෙරද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවෙකු නේවාසිකාගාරයක් තුළදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගනු ලැබීය.

විශ්වවිද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට බහුලව නැඹුරුවී තිබෙන බවට ලද තොරතුරු මත විනයාරක්ෂක නිලධාරීන් විසින් අඛණ්ඩව අදාළ වැටලීම් සිදුකරනු ලබයි.