May 25, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාහන සඳහා ලබාදෙන උපරිම ණය-වටිනාකම් අනුපාතය (LTV) තවදුරටත් පහත හෙළමින්, වාහන මූල්‍යකරණ රෙගුලාසි තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන තිබේ.

බැංකු සහ මූල්‍ය සමාගම් වෙතින් වාහන මිලදී ගැනීම් සඳහා ලබාදෙන ණය වෙනුවෙන් මෙම නව සීමාවන් බලපැවැත්වේ.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් 2026 අංක 01 දරන නියෝග යටතේ නිකුත් කරන ලද මෙම නව රෙගුලාසි 2026 මැයි 25 වනදා (අද) සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කර ඇත.

මෙම නවතම නියෝගයන්ට අනුව:

වාණිජ වාහන සඳහා ලබාදෙන උපරිම LTV අනුපාතය 60% දක්වා අඩු කර ඇත. මීට පෙර 2025 නොවැම්බර් මාසයේදී එහි උපරිම සීමාව පනවා තිබුණේ 70% ක් වශයෙනි.

මෝටර් රථ, SUV, වෑන්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා වන මූල්‍යකරණ සීමාව 40% දක්වා පහත දමා ඇත. 2025 අංක 03 දරන නියෝගය යටතේ මීට පෙර මෙහි සීමාව පැවතියේ 50% ක් ලෙසය.

මෙම නවතම නියෝග, ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු වසරකට අඩු කාලයක් ගතවූ වාහන සඳහා අදාළ වන බව මහබැංකුව පවසයි.

එසේම, පළමු ලියාපදිංචියෙන් පසුව වසරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිත කරන ලද, ලියාපදිංචි වාහන සඳහා ද උපරිම මූල්‍යකරණ සීමාව 60% ක් ලෙස බලපැවැත්වේ.

කෙසේ වෙතත්, දැනටමත් මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලියේ පවතින වාහන සඳහා නව නියෝගයන්හි සංක්‍රාන්ති විධිවිධාන ඇතුළත් කර ඇත. මහ බැංකුවට අනුව, 2025 නොවැම්බර් 08 සහ 2026 මැයි 25 අතර කාලය තුළ විවෘත කරන ලද ණයවර ලිපි (LCs) යටතේ ආනයනය කරන ලද වාහන සඳහා පෙර පැවති මූල්‍ය සීමාවන් තවදුරටත් වලංගු වේ.

මෙම පියවර 2023 අංකය 16 දරන ශ්‍රී ලංකා මහබැංකු පනතේ 105(1) වගන්තිය යටතේ, බලපත්‍රලාභී බැංකු, මූල්‍ය සමාගම් සහ ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන සාර්ව-විවේකී (Macroprudential) රෙගුලාසිවල කොටසක් ලෙස නිකුත් කර ඇති බව මහබැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.