May 23, 2026

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉස්ලාමීය ‘ඊද් අල්-අල්හා’ (Eid al-Adha) උත්සවය වෙනුවෙන් බංග්ලාදේශයේ ඇතිදැඩි කරන ලද, රන්වන් පැහැති හිසකෙස් ඇති දුර්ලභ ඇල්බිනෝ (Albino) වර්ගයේ මීහරකෙකු මේ වන විට එරට තුළ දැඩි ප්‍රසිද්ධියක් ලබා ඇත.

බොහෝදෙනෙකු පවසන්නේ මෙම සත්වයාගේ පෙනුම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බෙහෙවින් සමාන බවයි.

බංග්ලාදේශයේ ඩකා අගනුවරට ආසන්න නාරායන්ගන්ජ් (Narayanganj) ප්‍රදේශයේ ගොවිපොළක හැදී වැඩුණු කිලෝග්‍රෑම් 700ක් පමණ බරැති මෙම සත්වයා, නළල මතට වැටී ඇති ලා පැහැති කෙස් කළඹ නිසාම ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ ලෙස නම් කර තිබේ.

සත්වයා සමඟ සෙල්ෆි ඡායාරූප සහ වීඩියෝ ලබාගැනීමට දිනපතා විශාල පිරිසක් පැමිණෙන අතර, මෙම දර්ශන සමාජ මාධ්‍ය තුළද දැඩි ලෙස සංසරණය වේ.

“මගේ මල්ලි තමයි මූට ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ කියලා නම තිබ්බේ. මොකද උගේ ඔළුවේ ඉස්සරහ තියෙන කෙස් රොද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොණ්ඩ විලාසිතාවට ගොඩක් සමානයි,” යනුවෙන් ගොවිපොළ අයිතිකරු වන සියාඋද්දීන් මිරිධා පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ, මෙම ඇල්බිනෝ මීහරකා පෙනුමෙන් වෙනස් වුවද, ඉතාමත් සන්සුන් සහ මෘදු ගතිගුණ ඇති සත්වයෙකු බවයි.

සාමාන්‍යයෙන් බංග්ලාදේශයේ මීහරකුන් තද පැහැති සමක් ඇති සතුන් වන බැවින්, මෙවැනි ක්‍රීම් පැහැති සිරුරක්, රෝස පැහැති නාසයක් සහ දිගු රන්වන් කෙස් ඇති ඇල්බිනෝ සතුන් දැකගත හැක්කේ ඉතා කලාතුරකිනි.

ඊද් උත්සවය වෙනුවෙන් සතුන් පූජා කිරීම මුස්ලිම් ජනතාවගේ සම්ප්‍රදායක් වන අතර, මෙම සත්වයා දැනටමත් උත්සවය වෙනුවෙන් පාරිභෝගිකයකු වෙත අලෙවි කර ඇති බවද වාර්තා වේ.

පසුගිය වසරවලදී ද බංග්ලාදේශය තුළ මෙලෙස සුවිශේෂී පෙනුමක් ඇති සතුන්ට ජනප්‍රිය පුද්ගලයන්ගේ නම් තබමින් ප්‍රසිද්ධියට පත්කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.