May 15, 2026

මාස කිහිපයක් තිස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටක් පුරවා නොමැති බව Daily Mirror පුවත්පත වාර්තාකරයි.

එම වාර්තාවට අනුව අඛණ්ඩව පවතින පුරප්පාඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපේක්ෂා කරන ලද අධිකරණ පත්වීම් ක්‍රියාවලියට බාධා කර ඇති අතර රටේ අධිකරණ පද්ධතියේ සුමට ක්‍රියාකාරිත්වය පිළිබඳ කනස්සල්ලක් මතු කර තිබේ.

මෙම කනස්සල්ලට අමතරව, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විශ්‍රාම ගැනීමෙන් පසු අධිකරණ සේවා කොමිෂන් සභාවේ තනතුරක් ද පුරප්පාඩු වී ඇත.

පූර්ණ බලැති අධිකරණ සේවා කොමිසමක් නොමැතිකම පහළ අධිකරණය අධීක්ෂණය කිරීම සඳහා වගකිව යුතු එම ආයතනයේ ඵලදායී ක්‍රියාකාරිත්වයට බාධාවක් විය හැකි බවට නීති වෘත්තිකයන් අනතුරු අඟවා ඇතැයි පුවත්පත වාර්තා කරයි.

අධිකරණ සේවා කොමිසමට නව සාමාජිකයකු පත් කිරීමට අපොහොසත් වීමත් සමඟ, ඉහළ අධිකරණවලට පත්වීම් ප්‍රමාදය අධිකරණ ස්වාධීනත්වයට අහිතකර ලෙස බලපානු ඇති බවත්, නඩු ගොඩගැසීම වැඩි කළ හැකි බවට සහ අධිකරණයේ කාර්යක්ෂමතාව අඩපණ කළ හැකි බවට නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කනස්සල්ල පළ කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානවලට අනුකූලව ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීමට වහාම පියවර ගන්නා ලෙස ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) වගන්තියට අනුව, අගවිනිසුරුවරයා, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ අනෙකුත් සෑම විනිසුරුවරයකුම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව සිදු කෙරේ.