May 13, 2026

සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේදී ජනතාවගේ ප්‍රායෝගික අවශ්‍යතා සළකා බලා සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කොළඹ දිස්ත්‍රක්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීම වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (12) පැවති කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

2026 සහ 2027 වර්ෂ සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ අතර මෙම වැඩසටහන මගින් ග්‍රාමීය මාර්ග සංවර්ධනය, දරිද්‍රතාව තුරන් කිරීම සහ යටිතල පහසුකම් නංවාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.

විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 195කට වැඩි ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ සඳහා සිය යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව දැනටමත් ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ව්‍යාපෘති 240ක් ලැබී ඇති අතර, රුපියල් මිලියන 127ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 126ක් සඳහා අනුමැතිය ලබා ගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එහිදී අනතුරුදායක ස්ථානවල ආරක්ෂිත වැටවල් සහ සංඥා පුවරු සවිකිරීමට ප්‍රමුඛතාව හිමිවේ.

මීට අමතරව, 2027 වර්ෂය ඉලක්ක කරගනිමින් ග්‍රාමීය පාලම් ඉදිකිරීමට රුපියල් මිලියන 100ක් සහ කිලෝමීටර් 50ක මාර්ග සංවර්ධනය කිරීමට ද සැලසුම් සකස් කර ඇති බව නිලධාරීන් පෙන්වා දී ඇත.

දරිද්‍රතාව තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන සඳහා රුපියල් මිලියන 1036ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ව්‍යාපෘති සියල්ල 2026 නොවැම්බර් 30 වන විට අවසන් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

මීට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයේ දායකත්වයෙන් පාසල් ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම, බුද්ධශාසන හා පරිසර අමාත්‍යාංශ යටතේ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.