April 28, 2026

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ රාත්‍රී භෝජන සංග්‍රහයට කඩා වැදීමට උත්සාහ කළ පුද්ගලයාට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් නම් කැලිෆෝනියාවේ පදිංචි මෙම පුද්ගලයා සඳුදා වොෂින්ටන් ඩීසී හි අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර ඔහුට ගිනි අවි වැරදි දෙකක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල විය.

සෙනසුරාදා ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ආරක්ෂක මුරපොලක් පසුකර යන විට ඔහු අර්ධ ස්වයංක්‍රීය අත් තුවක්කුවක්, තවත් තුවක්කුවක් සහ පිහි තුනක් රැගෙන සිටි බව නඩු පවරන්නන් චෝදනා කර තිබිණි.

ඔහු රහස් සේවා නියෝජිතයකුට පහර දුන් නමුත් බරපතළ තුවාල සිදු නොවූ බව නඩු පවරන්නෝ පවසති.

වරදකරු වුවහොත් විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමට සිදුවනු ඇත.

නිල් පැහැති ජම්ප් සූට් එකකින් සැරසී සිටි සැකකරු සඳුදා එරට අගනුවර පිහිටි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සන්සුන්ව සිටි බව මාධ්‍ය වාර්තා කරයි.

විනිසුරුවරයාගේ සෑම ප්‍රශ්නයකටම පාහේ ‘ඔව්, ස්වාමීනි’ හෝ ‘නැත, ස්වාමීනි’ යනුවෙන් ඔහු මෘදු ලෙස පිළිතුරු දී තිබේ.

ඔහු තම වයස ප්‍රකාශ කළ අතර ඔහුට ශාස්ත්‍රපති උපාධියක් ඇති බව සඳහන් කර ඇත.

සෙනසුරාදා රාත්‍රියේ වූ සිදුවීම අතරතුර, වෙඩි තැබීමේ හඬ ඇසීමෙන් පසු ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, කැබිනට් සාමාජිකයන් සහ අනෙකුත් ධවල මන්දිර නිලධාරීන් වොෂින්ටන් හිල්ටන් හෝටලයේ අදාළ ශාලාවෙන් වහාම රැගෙන යන ලදී.