April 27, 2026

උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින් භික්ෂු ශාසනයත් ශ්‍රී ලාංකේය ඓතිහාසික භික්ෂු භූමිකාව සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිදුකරන ලද ශාසන හා සමාජ විරෝධී මෙන්ම නීතිවිරෝධී ක්‍රියාව දැඩි ලෙස හෙළාදකින බව නිවේදනයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රකාශ කරති.

ලාංකේය සමාජය තුළ භික්ෂූන් වහන්සේනමක් වෙත උරුමට ඇති සාම්ප්‍රදායික ගෞරවය හා පිළිගැනීමත් උතුම් වූ බුද්ධ චීවරය පිළිබඳ බෞද්ධයන්ගේ ශ්‍රද්ධාධ්‍යාශයන් ද අවභාවිත කරමින් සිදුකරන ලද මෙම නිතීවිරෝධි ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයන්ට නිසි දඬුවම් ලබාදිය යුතු බවද උන්වහන්සේලාගේ අවධාරණය කරති.

මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මකුලෑවේ විමල යන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන්වේ.

‘බුද්ධ චීවරයත් ශාසනික අනන්‍යතාවත් අවභාවිත කරමින් මෙවැනි නීතිවිරෝධී කටයුතු කරන භික්ෂු ප්‍රතිරූපකයන් පිළිබඳ ඉදිරියේ දී කරුණු විභාග කොට සසුනෙන් නෙරපීමට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව යළිත් ප්‍රකට වන මෙම අවස්ථාවේ දී, ඒ සඳහා අවශ්‍යකරන නෛතික ප්‍රතිපාදන සම්පාදනය කරලීමට රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මැදිහත් වීම අත්‍යාවශ්‍ය බව නැවත නැවතත් මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමු.

ඒ අනුව අදාළ නිකාය පාර්ශ්වයන් මගින් ඉදිරියේ දී මෙම ශාසන විරෝධී මෙන්ම නීතිවිරෝධී කටයුත්තට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බව ද දැනුම් දෙනු කැමැත්තෙමු.

තව ද උපක්‍රමශීලීව මෙන්ම සංවිධානාත්මකව තරුණ භික්ෂුන් වහන්සේලා මෙබඳු නීතිවිරෝධී කටයුතු සඳහා පොළඹවා ගන්නා මත්ද්‍රව්‍ය ජාල හා මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකොට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද ආරක්ෂක අංශ යුහුසුළුව කටයුතු කළ යුතු බව මෙහිලා බරපතළ ලෙස අවධාරණය කර සිටිමු.

එමෙන්ම සෑම තරුණ භික්ෂුවක් පිළිබඳවම නිරන්තර අවධානයෙන් කටයුතු කරමින්, ශාසන විරෝධී යම් කටයුත්තක නිරත වන බවට නිරීක්ෂණය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා, එවැනි තරුණ භික්ෂූන් ආයති සංවරයෙහි පිහිටුවීමට සෑම ආචාර්යන් වහන්සේ නමක්ම නිරන්තරයෙන් ව්‍යාවෘත වියයුතු බවට ද අවධාරණයෙන් යුතුව දැනුම්දෙනු කැමැත්තෙමු.’