April 21, 2026

පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර යළිත් දේශසීමා ගැටුම් උත්සන්න වීමත් සමඟ, පකිස්ථාන බලධාරීන් විසින් ඇෆ්ගන් සරණාගතයින්ට එරෙහිව සිදුකරන අත්තනෝමතික වැටලීම්, රඳවා තබා ගැනීම් සහ බලහත්කාරයෙන් පිටුවහල් කිරීම් දැඩි ලෙස ඉහළ නංවා ඇති බව Human Rights Watch චෝදනා කරයි.

මෙම පොලිස් මෙහෙයුම් හේතුවෙන් ළමුන් ඇතුළු දහස් සංඛ්‍යාත අසරණ ඇෆ්ගන් සරණාගතයින්ට සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීමට දැඩි බාධා එල්ල වී ඇතැයි එම සංවිධානය පෙන්වා දී තිබේ.

ඔවුන් පවසන්නේ පාකිස්ථාන බලධාරීන් ඇෆ්ගන් සරණාගතයින් ආරක්ෂාව අවශ්‍ය පිරිසක් ලෙස සලකනවා වෙනුවට ඔවුන් අතර බිය පතුරවමින් සිටින බව එම සංවිධානයේ ඇෆ්ගනිස්ථාන පර්යේෂක ෆෙරෙෂ්තා අබ්බාසි පැවසුවාය.

පොලිසියේ අපයෝජන ක්‍රියා නිසා ජනතාවට ආහාර සහ සෞඛ්‍ය පහසුකම් පවා අහිමි වෙමින් පවතින අතර, සමූහ වශයෙන් පිටුවහල් කිරීම් හරහා මෙම සරණාගතයින් ඇෆ්ගනිස්ථානය තුළ යළිත් වරක් පීඩාවන්ට හෝ ඊට වඩා දරුණු තත්ත්වයන්ට මුහුණ දීමේ අවදානමකට තල්ලු කර ඇතැයි ද ඇය පැවසුවාය.

2026 පෙබරවාරි මාසයේ සිට ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය අතර සටන් උත්සන්න වීමත් සමඟ, පකිස්ථාන නගර කිහිපයක ඇෆ්ගන් ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් පොලිසිය සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇත.

ඔවුන් නිවෙස්වලට කඩා වැදීම, මධ්‍යම රාත්‍රියේ සෝදිසි කිරීම් සහ වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීම් සිදු කරයි.

පකිස්ථාන රජය විසින් 2023 වසරේ සිට සරණාගත ලියාපදිංචි කාඩ්පත් (PoR) සහ අනෙකුත් පදිංචිය තහවුරු කිරීමේ ලේඛන අලුත් කිරීම නතර කිරීම නිසා බොහෝ ඇෆ්ගන් ජාතිකයින්ට වලංගු ලේඛන නොමැති අතර, පොලිසිය විසින් වලංගු වීසා බලපත්‍ර සහිත පුද්ගලයින් පවා අත්අඩංගුවට ගෙන ඇත.

සාමාන්‍යයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා සරණාගතයින් රැඳවුම් මධ්‍යස්ථාන වෙත මාරු කර පසුව පිටුවහල් කරනු ලැබේ.

2026 වසරේදී පමණක් ඇෆ්ගන් ජාතිකයින් 146,000කට වැඩි පිරිසක් පකිස්ථානයෙන් පිටුවහල් කර ඇති අතර, අප්‍රේල් 1 වැනිදා සිට එම සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.