April 22, 2026

දුම්කොළ සහ වේප් පනත් කෙටුම්පත(Tobacco and Vapes Bill) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති අතර, එක්සත් රාජධානිය “දුම් රහිත පරම්පරාවක්” නිර්මාණය කිරීමේ පියවරට එමගින් සමීප කර ඇත.

නව නීතිය යටතේ, වයස අවුරුදු 17 හෝ ඊට අඩු දරුවන්ට කිසි විටෙකත් නීත්‍යානුකූලව සිගරට් මිලදී ගැනීමට අවසර නැත.

2009 ජනවාරි 1 වැනි දිනෙන් පසු උපත ලැබූ ඕනෑම කෙනෙකුට මෙම නීතිය අදාළ වේ.

මෙයින් අදහස් කරන්නේ කාලය ගෙවී යත්ම, දුම්කොළ නිෂ්පාදන මිලදී ගත හැකි පිරිස අඩුවන බවයි.

III වැනි චාල්ස් රජුගේ අනුමැතිය ලැබුණු පසු මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වනු ඇත.

දුම්කොළ, වේප් භාවිතය සහ නිකොටින් නිෂ්පාදන, ඒවායේ රසකාරක සහ ඇසුරුම් ඇතුළුව ඒ ආශ්‍රිත සියලුම දේ පාලනය කිරීමට ද මෙම පනත රජයට නව බලතල ලබාදෙයි.

නව නීතිය මගින් වේප් සඳහා නව සීමාවන් හඳුන්වා දෙයි.

දරුවන් රැගෙන යන මෝටර් රථවල මෙන්ම ක්‍රීඩා පිටිවල, පාසල්වලින් පිටත සහ රෝහල් අසල වේප් භාවිතය තහනම් කෙරේ.

කෙසේවෙතත්, දුම්පානය නතර කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා සමහර එළිමහන් රෝහල් ප්‍රදේශවල එයට තවමත් අවසර දෙනු ලැබේ.

එසේම නිවාසවල, අවන්හල් උද්‍යාන සහ වෙරළ තීරයන් වැනි සමහර එළිමහන් ස්ථානවල දුම්පානය සහ වේප් භාවිතයට තවමත් අවසර තිබේ.

නව නීතිය දුම්පානය ආශ්‍රිත රෝග සහ මරණ අඩු කිරීම සඳහා වසර ගණනාවක් පුරා ගත් විශාලතම උත්සාහයන්ගෙන් එකක් බව බ්‍රිතාන්‍යය රජය පවසයි.