April 21, 2026

ඉරානය සමඟ ඇති කරගත් සටන් විරාමය වොෂින්ටන් වේලාවෙන් හෙට පස්වරුවේ අවසන් වන නමුත් ඉරානය එකඟතාවකට නොපැමිණෙන්නේ නම් එය තවදුරටත් දීර්ඝ කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

බ්ලූම්බර්ග් පුවත් සේවය සමඟ දුරකථන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, තමන් එය දීර්ඝ කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවයි.

පළමුව සති දෙකක කාලයක් සඳහා සැලසුම් කර තිබූ මෙම සටන් විරාමය අප්‍රේල් 7 වැනිදා සවස ආරම්භ විය.

“අහිතකර ගිවිසුමකට එළඹීමට මම ඉක්මන් වෙන්නේ නැහැ. අපට ඕනෑ තරම් කාලය තිබෙනවා,” යනුවෙන් එම සම්මුඛ සාකච්ඡාවේදී ට්‍රම්ප් වැඩිදුරටත් පවසයි.

ඉරානය යම් හෙයකින් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් වහාම සටන් ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන්නේදැයි සම්මුඛ සාකච්ඡාවේදී ජනමාධ්‍යවේදියා විමසූ විට ට්‍රම්ප් පැවසුවේ, “එකඟතාවයක් නැත්නම්, මම අනිවාර්යයෙන්ම එය අපේක්ෂා කරනවා,” යනුවෙනි.

මීට පෙර ද, සටන් විරාමය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව ට්‍රම්ප් විවිධ අවස්ථාවල පරස්පර අදහස් පළකර තිබිණි.

පසුගිය සතියේදී ද ජනමාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදීන් විසින් සටන් විරාමය දීර්ඝ කරන්නේදැයි ඔහුගෙන් අවස්ථා 05 කදී විමසූ අතර එහිදී ඔහු පිළිතුරු තුනක් ලබා දී තිබිණි.

මේ අතර, ඉරානයට ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රායලය තමන්ව පොළඹවා නොගත් බව ද ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරයි.

ඊශ්‍රායල නායක බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ තීරණයට බලපෑම් කළ බවට පළවූ පුවත් වාර්තා සහ දක්ෂිණාංශික විචාරකයන්ගේ විවේචන හමුවේ ඔහු මෙම අදහස් පළකළේය.

“ඉරානය සමඟ යුද්ධයකට යෑමට ඊශ්‍රායලය කිසිවිටෙකත් මාව පෙළඹවූයේ නැහැ. ඔක්තෝබර් 7 වැනිදා ප්‍රතිඵලය සහ ඉරානයට කිසිවිටෙකත් න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකියි යන මගේ ජීවිත කාලය පුරාම තිබූ මතය මීට හේතු වුණා,” යනුවෙන් ට්‍රම්ප් ‘Truth Social’ සටහනක සඳහන් කර තිබිණි.

“ඉරානයේ නව නායකයන් බුද්ධිමත් නම්, ඉරානයට උතුම් සහ සමෘද්ධිමත් අනාගතයක් හිමිවිය හැකියි!” යනුවෙන් ද ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබිණි.