April 20, 2026

ඉන්දියාව සහ දකුණු කොරියාව සිය ද්විපාර්ශ්වික සබඳතාව ‘අනාගතවාදී හවුල්කාරිත්වයක්’ දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඒ, දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ගේ ඉන්දීය නිල සංචාරයට සමගාමීව ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදී සිදු කෙරුණු ද්විපාර්ශවික සාකච්ඡා අනුවයි.

එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාවය තවදුරටත් පුළුල් කරන බවයි.

ඉන්දියාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන ගෝලීය වැඩපිළිවෙළවල් දෙකක් වන ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානය (ISA) සහ ඉන්දු-පැසිෆික් සාගර වැඩපිළිවෙළ (IPOI) සඳහා සෝල් නුවර (දකුණු කොරියාව) එක්වීම ඔහු සාදරයෙන් පිළිගත්තේය.

”ගෝලීය නොසන්සුන්තාව පවතින මෙවැනි කාලවකවානුවක, ඉන්දියාව සහ කොරියාව එක්ව සාමය සහ ස්ථාවරත්වය පිළිබඳ පණිවිඩයක් ලොවට ලබා දෙනවා. අද දින කොරියාව ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයට සහ ඉන්දු-පැසිෆික් සාගර වැඩපිළිවෙළට සම්බන්ධ වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වෙනවා,” යැයි අග්‍රාමාත්‍ය මෝදි පැවසීය.

”අපගේ හවුල් උත්සාහයන් තුළින් සාමකාමී, ප්‍රගතිශීලී සහ සියලු දෙනා ඇතුළත් කරගත් ඉන්දු-පැසිෆික් කලාපයක් වෙනුවෙන් අපි දිගටම දායක වන්නෙමු. ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ගෝලීය ආයතනවල ප්‍රතිසංස්කරණ සිදු කිරීම අත්‍යවශ්‍ය බවට ද අපි එකඟ වුණෙමු,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.