April 20, 2026

චීන නිෂ්පාදකයන් විසින් අත්පත් කරගත් වේගවත් තාක්ෂණික දියුණුව පෙන්නුම් කරමින් මිනිසුන් සමග තරඟ කරන හියුමනොයිඩ් රොබෝවක් බීජිං අර්ධ මැරතන් තරගයකදී ලෝක වාර්තාවක් බිඳ දමා තිබේ.

යන්ත්‍ර සහ මානව ප්‍රතිවාදීන් තරඟ කරන ආකාරය නැරඹීමට යිෂුවාං හි මාර්ගවල නරඹන්නන් ඉරිදා පෙළ ගැසී සිටි අතර අනතුරු හෝ ගැටුම් වළක්වා ගැනීම සඳහා එක් එක් කණ්ඩායමට වෙන් වෙන්වූ මංතීරු තිබිණි.

ඇතැම් රොබෝවරු ඉතා කඩිසර වූ අතර, උසේන් බෝල්ට් වැනි ප්‍රසිද්ධ ධාවකයන් මෙන් ගමන් කරනු දක්නට ලැබිණි.

චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදක හොනර් සඳහා ධාවනයට එක්වූ ස්වයංක්‍රීය සංචාලන පද්ධතියකින් සමන්විත ජයග්‍රාහී හියුමනොයිඩ්, ආසන්න වශයෙන් කිලෝමීටර 21ක ධාවන පථය මිනිත්තු 50යි තත්පර 26 කින්, සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 25ක් ලෙස සම්පූර්ණ කළ බව රාජ්‍ය විකාශක CCTV විසින් වාර්තා කර තිබේ..

එය ඉරිදා තරඟයේ වේගවත්ම මිනිසාට වඩා බොහෝ වේගවත් වූ අතර උගන්ඩාවේ ධාවකයකු වන ජේකබ් කිප්ලිමෝ විසින් තබා ඇති විනාඩි 57:20හි වත්මන් පිරිමි ලෝක වාර්තාව ද අභිබවා ගියේය.

පසුගිය වසරට සාපේක්ෂව මෙම ප්‍රතිඵලය කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරයි.

පසුගිය වසරේ හියුමනොයිඩ් සංඛ්‍යාව 20ක් පමණ වූ අතර එය මෙවර100කට වඩා වැඩි වූ බවත් එය මෙම අංශයේ වර්ධනය වන ජනප්‍රියතාවයේ සලකුණක් බවත් සංවිධායකයෝ පවසති.

හියුමනොයිඩ් අර්ධ මැරතන් තරඟයේ අරමුණ නවෝත්පාදනයන් දිරිමත් කිරීම සහ එවැනි යන්ත්‍ර නිර්මාණය කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී භාවිත කරන තාක්ෂණයන් ජනප්‍රිය කිරීමයි.

රජයේ ආයතනයක් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, කර්මාන්තයේ ශක්තියේ සලකුණක් ලෙස, 2025 දී චීනයේ රොබෝ විද්‍යාව සහ AI සඳහා ආයෝජනය යුවාන් බිලියන 73.5ක් (ඩොලර් බිලියන 10.8) විය.