April 17, 2026

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔස්ට්‍රියාවේ චාන්සලර් ක්‍රිස්ටියන් ස්ටොකර් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා වටයක් සඳහා එළඹ තිබේ.

ඒ, ඔස්ට්‍රියානු චාන්සලර්වරයාගේ ඉන්දීය නිල සංචාරයට සමගාමීවයි.

යුක්රේනය සහ බටහිර ආසියාව යන කලාපවල පවතින ගැටලුවලට සමබර හා ස්ථිරසාර විසඳුමක් ලබා දීමට ඉන්දියාව සහ ඔස්ට්‍රියාව පක්ෂපාතී වන බව ඔවුන් අවධාරණය කර ඇත.

සන්නද්ධ ගැටුම් මගින් කිසිවිටෙකත් කල්පවත්නා ප්‍රතිඵල අත්කර ගත නොහැකි බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

දශක හතරකට වැඩි කාලයකට පසු ඔස්ට්‍රියානු නායකයෙකු ඉන්දියාවේ සිදු කළ පළමු සංචාරය මෙය වූ අතර, මෙහිදී ත්‍රස්තවාදය මර්දනය, ආරක්ෂක සහයෝගීතාව සහ දියුණු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ගිවිසුම් රැසකට එළඹුණු බව වාර්තා වේ.

සිය X ගිණුම ඔස්සේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ, නවෝත්පාදන, යටිතල පහසුකම් සහ තිරසාර බව වැනි අංශ ඔස්සේ දෙරට අතර සහයෝගීතාව ගැඹුරු කරන ආකාරය පිළිබඳව ඔස්ට්‍රියානු චාන්සලර්වරයා සමඟ සාකච්ඡා කළ බවයි.

“අපි වෙළඳ සහ ආයෝජන සබඳතාවලට නව පණක් ලබා දීමට කැපවී සිටිමු. ආරක්ෂක, අර්ධ සන්නායක, අනාගතවාදී තාක්ෂණයන් සහ නව ව්‍යාපාර වැනි අංශ දෙරට අතර සමීප සබඳතා ඇති කර ගැනීමට විශාල විභවයක් දක්වයි. ඉන්දු-ඔස්ට්‍රියා හවුල්කාරිත්වය තවදුරටත් නවෝත්පාදන කේන්ද්‍රීය සහ අනාගතයට සූදානම් වූ එකක් වනු ඇති බවට මට විශ්වාසයි,” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මෝදි පවසා ඇත්තේ වර්තමාන ජාත්‍යන්තර වාතාවරණය පීඩාකාරී සහ අවිනිශ්චිත ස්වභාවයක් ගන්නා අතර එය ලොව පුරා රටවලට බලපාන බවයි.

එවැනි තත්ත්වයන් යටතේ, ආරවුල් විසඳාගත යුත්තේ බලහත්කාරයෙන් නොව සාමකාමී ක්‍රමවේදයන් හරහා බව දෙරටම විශ්වාස කරන බව ඔහු සඳහන් කළේය.

යුක්රේනය සහ බටහිර ආසියාව පිළිබඳව සඳහන් කරමින් ඔහු කියා සිටියේ පොදු අරමුණ වන්නේ විශ්වාසදායක සහ දිගුකාලීන සාමයක් බවයි.

එසේම ගෝලීය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද දෙරට අතර එකඟතාවක් පවතින බව ඔහු එහිදී අවධාරණය කළේය