April 7, 2026

මේ දිනවල පවතින අධික උණුසුමට ඔරොත්තු දීමට නොහැකි කොළඹ සිටින පොලිස් අශ්වයන් මහනුවර පොලිස් අශ්වාරෝහක අංශයට මාරුකිරීමට පියවර ගෙන ඇතැයි උපසේවා සහකාර පොලිස් අධිකාරි (පශු වෛද්‍ය) මංජුල විජයකෝන් ‘දිවයින’ ට පවසා ඇත.

දැනටමත් අශ්වයන් දෙදෙනකු කොළඹ සිට මහනුවරට මාරුකර යැවූ බව පවසන මංජුල විජයකෝන්, කොළඹ පොලිස් අශ්වාරෝහක අංශයේ අශ්වයන් අධික උණුසුමෙන් බේරාගැනීම සඳහා ඔවුන්ගේ කුටිවලට විදුලි පංකා සවිකර තිබෙන බවද පැවසීය.

මීට අමතරව එම අශ්වයන්ට දිනකට දෙතුන් වතාවක් නෑමට පහසුකම් සලසා ඇති බවත්, මීට අමතරව අශ්වයන්ට සිසිල ලබාදීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය කියයි.

මේ අතර පොලිස් සුනඛ අංශයේ නිල සුනඛයන් ද අධික රස්නෙන් බේරාගැනීමට පොලිසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව එම අංශයේ පශු වෛද්‍ය අමල් දිසානායක සඳහන් කර ඇත.