April 5, 2026

නීත්‍යනුකූල නොවන ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී නවීනතම රථ ඇතුළු වාහන 20 ක් සමගින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ⁣බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය පවසයි.

මෙලෙස නීත්‍යනුකූල නොවන අයුරින් එකලස් කරන ලද රථ වාහන සංවිධානාත්මක අපරාධ සදහා යොදාගෙන ඇති බවටත් අදාළ රථ වාහන නීත්‍යනුකූල නොවන ලෙස එකලස් කිරීමට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහයෝගය ලැබී ඇති බවටත් කරුණු අනාවරණය වී ඇතැයි ද එම කොට්ඨාශය පවසයි.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ධර්මරත්නගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වැඩසටහනකට අනුව මෙම සැකකරුවන් සහ රථ වාහන අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත, ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත කොළඹ සහ තදාසන්න නගරවල කඩවත, මීගහවත්ත සහ මොනරාගල ප්‍රදේශවල තිබූ මෙම එකලස් කරන ලද රථ වාහන සොයාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස අත් අඩංගුවට ගත් එකලස් කරන ලද රථ වාහන අතර සුඛෝපභෝගී මෝටර් රථ, ජීප් රථ, වෑන්, ලොරි සහ යතුරුපැදි අයත් වේ.(ලංකාදීප)