April 1, 2026

ටිබෙට් ටයිම්ස් වාර්තාවකට අනුව, 2021 අගෝස්තු 5 වන දින ටිබෙටයේ අගනුවර වන ලාසා හිදී චීන පොලිසිය විසින් රඳවා තබාගෙන බලහත්කාරයෙන් රැගෙන ගිය ටිබෙට් භික්ෂුවක වන ධර්ගී (Dargye) නමැති හිමිනමට රහසිගතව වසර හතක සිර දඬුවමක් නියම කර ඇත.

චීන බලධාරීන් ධර්ගී හිමියන්ට චෝදනා කළේ දලයි ලාමා වෙනුවෙන් යාච්ඤා කිරීම සහ ආගමික පූජාවන් පැවැත්වීම මෙන්ම ටිබෙට් භික්ෂූන් කිහිප දෙනෙකුට ටිබෙටයෙන් පලා යාමට උදව් කිරීම සම්බන්ධයෙනි.

2021 අගෝස්තු 5 වන දින, ඔහුගේ ඥාතියෙකු වූ සෙරින්ග් සහ චෝකි නම් කන්‍යා සොහොයුරියක සමඟ ඔහු ලාසා හිදී අත්අඩංගුවට ගන්නා ලදී.

සෙරින්ග් සහ චෝකි මාස කිහිපයකට පසු නිදහස් කළද, ධර්ගී හිමියන් සිටින ස්ථානය සහ තත්ත්වය පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව ටිබෙට් ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.

මීට පෙර, 2025 සැප්තැම්බර් 17 වන දින, ප්‍රදේශවාසීන් ධර්ගී හිමියන් සිටින ස්ථානය සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ලාසා පොලිසිය සම්බන්ධ කර ගත්හ.

ඊට ප්‍රතිචාර වශයෙන්, පොලිසිය ඔවුන්ට සහතික වූයේ ධර්ගී හිමියන් ඉක්මනින් නිදහස් කරන බවත්, උන්වහන්සේට කිසිදු ගැටලුවකට මුහුණ දීමට සිදු වී නොමැති බවත්, හිමියන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්ය.

චීන බලධාරීන්ගේ මෙම නොමඟ යවන සුළු සහතික කිරීම් විශ්වාස කිරීම නිසා, ප්‍රදේශවාසීන්ට උන්වහන්සේගේ බරපතල තත්ත්වය පිළිබඳව ලෝකයේ අවධානය යොමු කරවීමට මෙතෙක් නොහැකි විය.

උන්වහන්සේගේ තත්ත්වය පිළිබඳ පැහැදිලි තොරතුරු නොමැතිකම, චීන රජය විසින් සිදු කරනු ලබන මර්දනය, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ටිබෙටයේ පවතින උග්‍ර අර්බුදය පිළිඹිබු කරන බව ටිබෙට් ටයිම්ස් වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

දැනට 63 වැනි වියේ පසුවන ධර්ගී හිමියන්, ගෝලොග් (Golog Tibetan Autonomous Prefecture) හි වෝල්ෂුල් හි සේර්තා ප්‍රදේශයේ උපන් අයෙකි. චෝපෙල් සහ චෝල්හා යන අයගේ පුත්‍රයා වන උන්වහන්සේ සේරා (Sera) ආරාමයට අනුබද්ධිතව කටයුතු කළ හිමිනමකි.