March 27, 2026

නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බාලේන්ද්‍ර ෂා වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කළේය.

දෙරටේම අන්‍යෝන්‍ය යහපත උදෙසා ඉන්දීය-නේපාල සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඔහු සමඟ සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

රැප් ගායකයෙකු ලෙස සිට පසුව දේශපාලනයට පිවිසි බාලේන්ද්‍ර ෂා නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ අග්‍රාමාත්‍යවරයා ලෙස සිකුරාදා දිවුරුම් දුන්නේය.

මෙය සිදුවූයේ මුළු රටම කැළඹූ ‘Gen-Z’ (නව පරපුරේ) විරෝධතාවලින් පසුව කේ. පී. ෂර්මා ඕලි ගේ නායකත්වයෙන් යුත් රජය බලයෙන් පහ කර මාස හයකට පමණ පසුවය.

“නේපාලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බාලේන්ද්‍ර ෂා වෙත මාගේ උණුසුම් සුබ පැතුම් එක් කරමි. ඔබගේ මෙම පත්වීම නේපාල ජනතාව ඔබගේ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු කරන්නකි. අප දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය යහපත උදෙසා ඉන්දීය-නේපාල මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ඉහළ තලයකට ගෙන යාමට ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි,” යනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.