February 11, 2026

ධීවරයන් පිරිසක් විසින් පවත්වන ලද විරෝධතාවක් මහජනතාවට සැළකිව යුතු අපහසුතාවක් ඇති කරන බව පවසමින් එය නතර කරන ලෙස නියෝගයක් ඉල්ලා කොටුව පොලිසිය විසින් මෝසමක් මගින් කරන ලද ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ප්‍රතික්ෂේප කර තිබේ.

ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සාමකාමී විරෝධතාවල යෙදීමට මහජනතාවට අයිතියක් ඇති අතර විරෝධතා දැක්වීම ජනතාවගේ මූලික අයිතියක් බවයි.

විරෝධතාකරුවන් මෝටර් රථ ප්‍රවාහන පනත සහ පොලිස් ආඥා පනත ඇතුළු නීතිමය විධිවිධාන උල්ලංඝනය කර මහජන අපහසුතාවට පත්වන ආකාරයෙන් විරෝධතා පවත්වන්නේ නම් තමන්ට ඇති නීතිමය බලතලවලට අනුකූලව කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොටුව පොලිසියට තවදුරටත් උපදෙස් දුන්නේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් කොටුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ විරෝධතාව මහජනතාවට සැළකිව යුතු අපහසුතාවක් මතු කර ඇති බවත් ධීවරයින් දින හයක් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන බැවින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවත්ය.

ට්‍රැක්ටර්වලට සවිකර ඇති වින්ච් යන්ත්‍ර භාවිතයෙන් සිදුකරන ලද මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් රජය විසින් පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නිරත වී සිටින බව පොලිසිය තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.