February 10, 2026

අද(10) අලුයම යාපනයේදී පොලිස් වෙඩි තැබීමකින් 17 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය බව පොලිසිය පැවසීය.

මෙම සිදුවීම අද අලුයම කයිට්ස් පොලිස් කොට්ඨාශයේ අල්ලපිඩ්ඩි හන්දිය අසලදී සිදුව තිබේ.

සැකසහිත වෑන් රථයක් නැවැත්වීමට නිලධාරීන් සංඥා කළ නමුත්, එම වාහනය නියෝග නොතකා මණ්ඩතිව් දෙසට වේගයෙන් ධාවනය වූ බව පොලිසිය පවසයි.

පොලිසියට අනුව, පළායන වෑන් රථය පිළිබඳ තොරතුරු කයිට්ස් පොලිස් ජීප් රථයකට දැනුම්දී ඇති අතර, ජීප් රථය වාහනයට බාධා කිරීමට උත්සාහ කර ඇත.

එහෙත් වෑන් රථය නොනවත්වා ධාවනය කර ඇති බැවින් පොලිසිය පළමුව අහසට අනතුරු ඇඟවීමේ වෙඩිතබා ඇත.

අවසානයේ වාහනය නැවැත්වීමට අපොහොසත් වූ විට, පොලිසිය එය නැවැත්වීමට වෑන් රථයට වෙඩිතබා තිබේ.

රියදුරු වෙඩි ප්‍රහාරයට ලක්ව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු මියගිය බව පොලිසිය පැවසීය.

මියගිය දරුවා වඩ්ඩුකොඩ්ඩෙයි ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි අයෙකු ලෙස හඳුනාගෙන ඇත.

පොලිසිය පැවසුවේ වෑන් රථයේ පිටුපස අංක තහඩුව ඉවත් කර ඇති බවයි.

සිද්ධිය වන අවස්ථාවේ වාහනය තුළ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කයිට්ස් පොලිසිය සහ යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසීය